අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමුහික විසඳුමකට අත්වැල් බැඳගන්නා ලෙස ගැටළුවලට මුහුණ දී සිටින සියලු රටවලින් ජනපති ඉල්ලයි 

    පෙබරවාරි 03, 2023
    • රට තුළ සාමය පවත්වා ගැනීමට ජනපති ගත් උත්සාහය අප්‍රිකානු  රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ඇගයීමට
     සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට  විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. 
     
    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අප්‍රිකානු රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමග අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීය.
     
    බොට්ස්වානා, ඇල්ජීරියා, ඊජිප්තුව, ඉතියෝපියාව, කොට් දි අයිවරි, කෙන්යාව, ගැම්බියාව, ලිබියාව, ලෙසෝතෝ රාජ්‍ය, ඝානා, මාලි, මොසැම්බික්, මලාවි, මොරොක්කෝ, නයිජීරියා, රුවන්ඩා, සෙනගල් ජනරජය, දකුණු අප්‍රියාව, සීෂෙල්ස්, සුඩානය, සැම්බියාව, ටැන්සානියාව, ටියුනීසියාව යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට චීනය සහ නැගෙනහිර ආසියාවේ බලය වර්ධනය වෙමින් පවතින අතර මෙම සියවසේ අවසානය වන විට ඉන්දියාව සහ අප්‍රිකාව ද ඔවුන් අනුගමනය කරනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් මෙම රටවල් සමඟ සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවත්ය.
     
    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ නව අදියර පැහැදිලි කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සෑම දුෂ්කර අවස්ථාවකදී ම ශ්‍රී ලංකාව සහ අප්‍රිකාව එකිනෙකා සමඟ සිටි බවයි. 
     
    ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ද බොහෝ අප්‍රිකානු රටවල නීති පද්ධතියට සමාන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව අප්‍රිකානු කලාපය සමඟ සැලකිය යුතු ආර්ථික  සබඳතාවක් පවත්වාගෙන යන බවත් එය වර්ධනය කර ගත යුතු බවත් සඳහන් කළේය.  
     
    අප්‍රිකානු මහද්වීපයෙන් ශ්‍රී ලංකාවට ගලා එන ආයෝජන අවස්ථා යම් මට්ටමක පැවතියත් ඒවා ඉතා සුළු ප්‍රමාණයක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
     
    රට තුළ සාමය පවත්වා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය මෙන්ම අප්‍රිකානු මහාද්වීපය සමඟ සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට කරනු ලබන කැපවීම අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ඇගයීමට ලක් විය. 
     
     
     
    ආර්ථික සහයෝගීතාව සහ ආයෝජනය ඉලක්ක කර ගනිමින්  සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ ප්‍රජාවන් අතර කල්පවත්නා සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා විශ්වසනීය යාන්ත්‍රණයක් පිහිටුවීම සඳහා දකුණු අප්‍රිකානු සහාය, මග පෙන්වීම සහ උපදේශනය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන බව ද  මෙහිදී සඳහන් විය.
    ගුවන් සහ නාවුක ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාව වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කළහ.
    මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන්  කළේ  මීට වසර 75කට පෙර නිදහස ලැබූ ශ්‍රී ලංකාව එම කාලයේදීම නිදහස ලැබු ඉන්දියාව, පාකිස්ථානය සහ මියන්මාරය සමඟ එක්ව ලෝකය හමුවේ තම හඬ අවධි කළ බවයි. 
    එහි අවසාන ප්‍රතිඵලය වූයේ මෙම රටවල් සහ ඉන්දුනීසියාව සහභාගී වූ කොළඹ බල සමුළුව  (Colombo Power Conference) බවත්  ඉන් අනතුරුව අප්‍රිකානු - ආසියාතික සමුළුව (Afro-Asia Conference) කැඳවීමට තීරණය වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
    නොබැඳි ව්‍යාපාරය අප්‍රිකානු රටවලට ද ලෝකයේ කටයුතු සම්බන්ධයෙන් හඬක් නැඟීමට අවස්ථාව උදා කළ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
    1980  දශකයේ දී සෝවියට් සංගමය බිඳවැටීමත් සමඟ ලෝකයේ බල ව්‍යුහයන් වෙනස් වීමට පටන් ගත් බවත්,  එම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ලෝකයේ රටවල අවධානය යොමු වූ බවත් සඳහන් කළ ජනාධිපතිවරයා යුද්ධයෙන් පසුව ද ආර්ථික ගැටලු සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් හේතුවෙන් මේ රට කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වූ බවත්,  එම ප්‍රයත්නයන් මේ වන විට අවසන් අදියරේ පවතින බවත් කියා සිටියේය.
    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී  අප්‍රිකානු රටවල් ශ්‍රි ලංකාවට ලබාදුන් සහයෝගය අගය කරන බව ද  ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 
    මේ වන විට බටහිර සිට නැගෙනහිරටත්, ආසියාව සහ අප්‍රිකාවටත් බලය මාරුවෙමින් පවතින අතර, එම බල පෙරළිය අඛණ්ඩවම පැවතිය යුතු බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
    කෙසේ වෙතත් මේ වන විට ලෝකයට බලපාන ප්‍රධාන ගැටලු දෙකක් පවතින අතර, යුක්‍රේන යුද්ධය සහ තායිවානයේ උද්ගත වෙමින් පවතින තත්ත්වය එම ගැටලු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අවස්ථාවන්ට ශ්‍රි ලංකාව සම්බන්ධ නොවන බවද පැවසීය.
    අද ලෝකයේ සිදුවන්නේ එක් පාර්ශ්වයකට නැඹුරු වු සබඳතාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  විශේෂයෙන් අප්‍රිකානු කලාපය පිළිබඳ අවධානය යොමු කරන විට තම සම්පත් වැඩි දියුණු කර ගැනීමට වඩා ශක්තිමත් හඬක් නැඟිය යුතුව ඇති බවත් එම ප්‍රයත්නයට ශ්‍රී ලංකාවේ සහාය ලබාදෙන බවත් සඳහන් කළේය.
     
     
    දේශගුණික විපර්යාස වැනි පොදු අභියෝගවලට මුහුණදීමේ දී පවතින අඩු අවධානය පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ දී  ඒ වෙනුවෙන්  හඬ අවදි කළ යුතු බව කියා සිටියේය. 
    ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වන්නේ බටහිර ඉන්දියානු  සාගර කලාපය සහ අප්‍රිකානු කලාපය දෙස අවධානය යොමු කිරීම බවත් ශ්‍රී ලංකාව මැදපෙරදිග රටවල් සමඟ සබඳතා පවත්වන නමුත්  දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ ක්‍රීඩා ක්ෂේත්‍රයන් තුළ අප්‍රිකාව සමඟ සබඳතා ඇතිකරගත යුතු බව පැවසු ජනාධිපතිවරයා  ශ්‍රී ලංකාව අප්‍රිකානු මහාද්වීපය දේශපාලන සංවාදයක් ආරම්භ කළ යුතු බව සඳහන් කළේය. 
    අප්‍රිකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකීය සමාගම් තිබෙන අතර අප්‍රිකානු රටවල් සමඟ සම්බන්ධ වීමට ඔවුන්  දිරිමත් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලුදෙනා එකට එක්ව වැඩ කිරීම ඉතා වැදගත් බවත් අප්‍රිකානු කලාපයේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට කළ හැකි ඔනෑම උපකාරයක් කිරීමට සූදානම් බවත් සඳහන් කළේය. 
    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya