මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු 07- අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ දිනයයි- යෝජනාවට කැබිනට් අනුමැතිය

    ජනවාරි 24, 2023

    අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් සෑම වර්ෂයකම මාර්තු 07 වනදා ප්‍රකාශයට පත් කිරීම සඳහා ඊයේ (23) අධිකරණ කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව කියා සිටියේ,අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හිමිකම් හඳුනාගැනීම ප්‍රවර්ධනය කිරීම සහ විධිමත් කිරීමේ යාන්ත්‍රණයක් ඇතිකිරීම පිණිස 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දී ඇති අතර ඒ අනූව අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියක් පවතින බවද අමාත්‍යවරයා පැවසුවේය.

    ලංකාව තුළ දිනෙන් දින ඉහළ යන අපරාධ හේතුවෙන් වින්දිත භාවයට පත්වන කාන්තාවන් ළමුන් ඇතුළු පුද්ගලයන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන අපරාධයක වින්දිතයන් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ අරමුණෙන් ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන නිලධාරීන් සංවේදීකරණයට ලක්කිරීම අරමුණු කරගනිමින් අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් මාර්තු 07 ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද වැඩිදුරටත් කියා සිටියේය.

    නිදහසින් පසු මෑත ඉතිහාසයේ ඉතා දරුණු ගණයේ අපරාධ ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින බව ද මෙරට සෑම දිනකම පාහේ වෛරයෙන් පිරුණු ප්‍රචණ්ඩත්වය මුදාහැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපරාධ ගහණය වූ රටක් ලෙස ලෝකයට අපේ රට එකතු වෙමින් පවතින බවද කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අති පෞරාණික බෞද්ධ සංස්කෘතික උරුමයක් සහිතව යහගුණාංග සහිත සත් සමාජයක් මෙතරම් දරුණු සමාජයක් වී ඇත්තේ මන්ද යන්න පිළිබඳ විවිජ සමාජ විද්‍යාර්ථයන් අතර විවිධ මත පළ වන බවයි.

    විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍යයින් මිනී මරාගන්න තත්ත්වයට පත්වී ඇති අතර සෑම අංශයකම බිය වැද්දීම, තර්ජනය, ප්‍රචණ්ඩත්වය හා අපරාධ කියන තැනට සමාජය වේගයෙන් ගමන් කරන බවද පැවසුවේය.

    මෙවැනි පසුබිමක සමාජය දැනුවත් කිරීම සඳහා මෙවන් දිනයක් නම් කිරීම කාලීන අවශ්‍යතායක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya