මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ළමයෙකු ලෙස සැලකෙන වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට- ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතට සංශෝධන යෝජනා

    සැප්තැම්බර් 29, 2022

     ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතට සංශෝධන යෝජනා..  ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ...

    ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට
    ඇති යෝජනා වල සඳහන් වේ.

    මේ පිළිබඳව ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

    ඒ අනුව “ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන වචන වෙනුවට “ළමා ආඥා පනත” ලෙස ද “ළමයින් සහ තරුණ තැනැත්තන්” යන වචන වෙනුවට “ළමයින්” ලෙසද සංශෝධනය කිරීමට මෙමගින් යෝජනා කොට තිබේ.

    එසේම ප්‍රධාන ප්‍රඥප්තියට අමතරව වෙනත් යම් ලිඛිත නීතියක හෝ ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ සාදන ලද යම් නියෝගයක හෝ රීතියක හෝ දැන්වීමක, නිවේදනයක, ගිවිසුමක හෝ වෙනත් ලේඛනයක “තරුණ අය” යන වචන සඳහන් වන සෑම ස්ථානයකින්ම ඒ වචන ඉවත් කළ යුතු බවටද පනත් කෙටුම්පත මගින් යෝජනා කොට තිබේ.

    එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 71වන වගන්තියේ (6) වන උපවගන්තියේ ඇති ‘මෙම කොටසේ ඇති කිසිවක් දරුවකුට හෝ තරුණයෙකුට දඬුවම් කිරීමට ඕනෑම දෙමාපියෙක්ට, ගුරුවරයෙකුට හෝ නීත්‍යනුකූල භාරකරුවකුට ඇති අයිතියට බලපාන ලෙස ගොඩනොනැගිය යුතු බවය’ යන්න සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර තිබේ.
    23 වන අධිකාරය වූ ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතේ අරමුණ වන්නේ ළමයින්ගේ සහ තරුණයන්ගේ ආරක්ෂාව උදෙසා බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීම සඳහා බාලවයස්කාර අධිකරණ පිහිටුවීමට නියෝග සෑදීමය.

    2022.07.18 දින නිකුත් කරන ලද ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) පනත් කෙටුම්පත අනුව 23 වන අධිකාරය සංශෝධනය වන අතර, සංශෝධන ක්‍රියාත්මක වනුයේ අධිකරණ, බන්ධානාගාර
    කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියම කිරීමේ දිනයකදී ය.

    මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය  සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තලතා අතුකෝරළ, රෝහිණි කවිරත්න, එරාන් වික්‍රමරත්න, (ආචාර්ය) හරිනි අමරසූරිය,  මංජුලා දිසානායක සහ විශේෂ කාරක සභාවේ ලේකම් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මෙන්ම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya