මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ කර්මාන්ත ශාලාවෙන් ම රෝහල් වෙත බෙදාහැරෙන කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදෙස්

    සැප්තැම්බර් 29, 2022

     මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ කර්මාන්ත ශාලාවෙන් ම රෝහල් වෙත බෙදාහැරෙන කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව අදාළ රෝහල්හි අවශ්‍යතා අනුව එම ඖෂධ හා උපකරණ වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වීමකින් තොරව රෝහල් කරා යොමු කරන ලෙසත් එහි පූර්ණ අධීක්ෂණය වෛද්‍ය සැපයුම් අංශය මගින් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ වනවිට පවතින ඖෂධ තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ඊයේ (27) පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හා එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද, වෛද්‍ය සැපයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද ඒ සඳහා සහභාගි වූහ. මුළු දිවයින ම ආවරණය වන පරිදි ඖෂධ ප්‍රවාහන සිතියමක් සකස් කරන ලෙසත් එය නිසි අධ්‍යයනයකින් යුතුව සිදුකරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

    කර්මාන්තශාලා මගින් රෝහල් කරා සෘජුව ඖෂධ බෙදාහැරීම තුළින් ප්‍රවාහනය සඳහා වන වියදම්, ගතවන කාලය ,ගබඩා පහසුකම් සඳහා වැයවන ඉඩකඩ ආදී ගැටලු රැසකට විසඳුම් ලැබෙන අතර මෙයට අමතරව රෝහල්හි පවතින ඖෂධ අඩුපාඩු හඳුනා ගනිමින් ඒ සඳහා ඖෂධ බෙදා හැරීමටද හැකිවනු ඇත.

    මේ අතර ඉදිරියේදී රෝහල් කරා ඖෂධ බෙදාහැරීමේදී මාස 03 ක කාලයකට පමණක් ඖෂධ තොග වෛද්‍ය සැපයුම් අංශය සතුව තබා ගනිමින් අනෙකුත් ඖෂධ ප්‍රමාදයකින් තොරව රෝහල් කරා බෙදා හරින ලෙසත්, රට තුළ ඖෂධ තිබියදී රෝහල් තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

    එමෙන්ම රෝහල් තුළ ඖෂධ තිබියදී රෝගීන් අපහසුතාවයට පත්වන අයුරින් වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය සේවයේ කවුරුන් හෝ ඖෂධ නැති බවට යම් ප්‍රකාශයක් කරන්නේ නම් ඒ් පිළිබඳවද සොයා බලා වහා පියවර ගතයුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මේ අතර මේ වන විට ඖෂධ සඳහා ගබඩා පහසුකම් වලට අදාල ගැටළු පවතින්නේ නම් ඉදිරි සති කිහිපය තුළ එයට විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය .විශේෂයෙන් මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය වඩාත් කාර්යක්ෂමව හා විනිවිදව මෙහි කටයුතු සිදු කිරීම තුළින් ප්‍රමාද වෙමින් පැවති ලිපිගොනු රැසක වැඩ කටයුතු අවසන්ව ඇතැයිද එය ඉදිරියේදී රටේ ඖෂධ ගැටලුවක් ඇති නොවීමට ප්‍රබල බලපෑමක් වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya