මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම විධායක ජනාධිපති  ජේ. ආර්. ජයවර්ධන 116 වන ජන්ම සමරුව අද

    සැප්තැම්බර් 17, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය ඇමැතිවරයා ද වූ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 116 වන ජන්ම සමරුම අද (17) දිනට යෙදී ඇත.

    වර්ෂ 1906 සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹ සේදවත්ත වලව්වේදි උපත ලද ජයවර්ධන මහතා හිටපු විනිසුරුවකු වූ රාජ නීතිඥ ඊ. ඩබ්ලිව් ජයවර්ධන මහතාගේ සහ හෙලේනා ඇග්නස් විජේවර්ධන යුවළගේ දරුවන් එකොළොස් දෙනා අතර වැඩිමහල් දරුවා ලෙස උපත ලබා ලැබීය. නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා නීතිඥයකු වශයෙන් වෘත්තීය ජීවිතයට පිවිස ඇත.

    1943 දී පැවති කැලණිය අතුරු මැතිවරණයට ඉදිරිපත්ව ජය ලබා රාජ්‍ය මන්ත්‍රීවරයකු බවට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන සමයේ පක්ෂයේ සම භාණ්ඩාගාරික ධූරයට පත්ව ඇත. 1947 මහ මැතිවරණයේදී කැලණිය මහජන මන්ත්‍රීවරයා වශයෙන් පත්ව එම වසරේ පිහිටුවූ නව රජයේ ප්‍රථම මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, 1947 සිට 1954 දක්වා වසර 07ක් ලංකාවේ මුදල් ඇමැති පදවිය හෙබවීය.

    1970 මහ මැතිවරණයෙන් දිනා දකුණු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් පත්වූ ජයවර්ධන මහතා 1970 සිට 1977 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේත්, ජාතික රාජ්‍ය සභාවේත් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළේය. 1973 වසරේ එජාප නායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූයේ ද ජේ. ආර්. ජයවර්ධන මහතාය.

    1977 මහ මැතිවරණය ජයගෙන ලංකාවේ 7 වෙනි අගමැතිවරයා වශයෙන් පත්වූ මෙතුමා 1978 වසරේ සම්මත වූ නව ආණ්ඩුක්‍රමය යටතේ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත් විය. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, කොළඹ ක්‍රමය, නිදහස් වෙළෙද කලාපය, කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය, සංස්කෘතික ත්‍රිකෝණය, රැකියා බැංකු ක්‍රමය, වගා නිලධාරීන් පත් කිරීම, දිළිදු සහන වැඩපිළිවෙළ, ශ්‍රී ජයවර්ධනපුරය ලංකාවේ පාලන අගනගරය කිරීම, නව පාර්ලිමේන්තු මන්දිරය පිහිටුවීම, ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය, ජාතික පක්ෂියා ආදී සලකුණු රටට හඳුන්වාදීම මෙතුමාගේ පාලන කාලයේ ක්‍රියාත්මක වූ ජයවර්ධන චින්තන‍යේ ප්‍රතිඵලය.

    1988 වසරේදී දේශපාලනයෙන් සමුගත් මෙම අසහාය දේශපාලනඥයා මීට වසර 26 කට පෙර 1996 නොවැම්බර් පළමු දින දිවංගත විය.
    මෙතුමාගේ 116 වෙනි ජන්ම සමරුව යෙදෙන මොහොතේ ජයවර්ධන ශ්‍රී නාමය සිහිපත් කිරීම පිදිය යුත්තෙකු පුදන උතුම් ක්‍රියාවකි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya