මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ දිලංකගේ නිවසට ක්‍රීඩා ඇමති යයි

    අගෝස්තු 30, 2022

    බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් 55 Kg බර පන්තිය යටතේ තරග වැදී මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොකඩ පදක්කම ජයග්‍රහණය කල දිලංක ඉසුරු කුමාර ක්‍රීඩකයාගේ කුරුණෑගල වැල්ලව උඩගම ග්‍රාමයේ පිහිටි නිවසට (28) දින උදෑසන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගියේ ය.


    මොහු කුරුණැගල ගැට්ටුවාන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඉන්පසු කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීය. ගැට්ටුවාන විද්‍යාලයේ ක්‍රීඩා ගුරු වන්නිනායක මහතාගේ මග පෙන්වීම යටතේ කොතලාවල විද්‍යාලයේ බර ඉසිලීමේ පුහුණුකරු රුක්ෂාන් ගුණතිලක මහතා දිලංකගේ නිත්‍ය පුහුණුකරු විය.

    ඔහු මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ස්නැච් ක්‍රමයට 105kg බරක් එසවීමට සමත් වූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ 120kg බරක් ද සමඟ සමස්ත බර 225kg එසවීමට සමත්වුණා.
    එහිදී අමාත්‍යවරයා පැමිණ සිටි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කළ කතාව. පසුගියදා නිමාවට පත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් උරුම කර දෙන්න අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. එහි දී බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර අපේ රටට කීර්තියක් හා ගෞරවයක් ලබා දුන් දිලංක ඉසුරු කුමාර ක්‍රීඩකයාගේ නිවසට පැමිණ ඔහුගේ
    දෙමාපියන්, නෑදෑයන්, අසල්වැසියන් සමග කතා කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබදව මම අද සතුටු වෙනවා.

    පසුගිය කාලයේ අපි අධ්‍යනය කළා පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගන්නත්, මීලග තරගාවලි සදහා පුහුණුවීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමත් පිළිබදව.අර්ජුන රණතුංග මැතිතුමා ඇතුළු ජාතික ක්‍රීඩා සභාව මේ පිළිබදව යෝජනා, නිර්දේශ හා උපදෙස් ගණනාවක් මා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එදා පොළොන්නරුවේ චින්තන ගීතාල් ක්‍රීඩකයා ආරම්භ කළ ජයග්‍රහණය සමග අද සෑම දිස්ත්‍රික්කයකම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි උනන්දුවක් දක්වමින් බර ඉසිලිමේ ක්‍රීඩාව සමග එකතුවෙනවා. මෙම ක්‍රීඩාව දියුණු කිරීමට දෙන්න පුලුවන් ධෛර්යය, සහයෝගය කිසිදු ආකාරයකින් අඩුවක් නොකර උපරිම වශයෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

    අපේ රටේ ක්‍රීඩාව ගොඩාක් ඉහළට ඔසවා තබන්න හැකියාව තිබෙනවා. අපේ රටේ ක්‍රීඩකයින්ට කුසළාන පදක්කම් විශාල වශයෙන් ජයග්‍රහණය කළ හැකියි. ඒ සඳහා සියළුම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගෙන් ඔවුන්ට දිය හැකි උපරිම සහයෝගය මේ අවස්ථාවේ දී ඉල්ලා සිටිනවා. අපේ රටේ ප්‍රධාන ව්‍යාපාර තිබෙනවා. එම ව්‍යාපාර අති විශාල මුදල් ප්‍රමාණයක් සමාජ සුබසිද්ධීන් සඳහා යොදවනවා. ක්‍රීඩාවේ අනාගතය
    උදෙසා එම ව්‍යාපාර හිමිකරුවන් අපේ එක් එක් ක්‍රීඩාවන් රැකබලා ගැනීමට අප සමග අත්වැල් බැදගන්නා ලෙස මම ආරාධනා කරනවා. ක්‍රීඩාවේ දී ලබන ජයග්‍රහණ හරහා රටට ලැබෙන කීර්තිය මිල කළ නොහැකියි.

    දිලංක ඉසුරු වැනි ක්‍රීඩකයින් රැකබලා ගැනීමට, ඔවුන්ගේ පුහුණුවීම් වලට උදව් උපකාර කිරීමට අපේ රටේ ව්‍යාපාරික සමාගම් එකතු වෙනවානම් එය මෙම ක්‍රීඩකයින්ට පමණක් නොව රටට ද කරන ලොකු මෙහෙවරක් බවට පත් වෙනවා. ක්‍රීඩාවට,රටට කරන ලොකු ගෞරවයක් වෙනවා. මේ රටේ අනාගතය වෙනුවෙන් වැඩි වශයෙන් ශ්‍රී ලාංකේය ධජය ජාත්‍යන්තර තරගාවලීන්හි ඉතා ඉක්මණින් ලෙළදේවි.
    සුසන්තිකා ජයසිංහ මහත්මිය විශාල කැපකිරීමක් කර අපේ රටට පදක්කමක් රැගෙන ආවා. ඉන් පසු කාලයක් පුරාවට අපිට ප්‍රධාන පෙළේ තරගාවලියක දී මළල ක්‍රීඩාවට පදක්කමක් ගන්න හැකියාවක් ලැබුනේ නැහැ. බර ඉසිලීමේ ඉසව්වෙන් එම සංගමයේ හා පුහුණුකාර මහත්මාගේ මග පෙන්වීම යටතේ ක්‍රීඩකයින්ගේ කැපවීම අනුව අපිට පදක්කම් ලැබුණා.වෙන රටවල්හි පුහුණුකරුවන් හට අති විශාල දීමනා ලැබෙනවා. මේ අයට එසේ නැහැ. රජයෙන් ලැබෙන පොඩි වැටුපක් අරගෙන තමන්ගේ ජීවිතේම කැප කරනවා රටට පදක්කමක් ලබා දෙන්න. ඒ හරහා රටට කීර්තියක් ගෞරවයක් ගෙන දෙන්න. රාජ්‍ය සේවයේ සැබෑ මහත්වරු තමයි රුක්ෂාන් ගුණතිලක වැනි පුහුණුකරුවන්.

    මට මේ අමාත්‍යාංශය ලැබුණේ ආර්ථික වශයෙන් පතුලටම වැටුනු වෙලාවේ. මීට වඩා රට වැටෙන්න තැනක් නැහැ. මෙතනින් එහාට අපි සුබවාදීව සිතා රටේ නැගි සීටීම ආරම්භ කළ යුතුයි. එහිදී අපි ක්‍රීඩාවටත් මූලිකත්වය දිය යුතුයි. තාරුණ්‍යත් මුල් කර ගත යුතුයි. මේ පිබිදීම සමග ම ක්‍රීඩාවත් ඉහළට ඔසවා තැබීමේ හැකියාව අපිට
    තිබෙනවා.

    මේ සදහා අර්ජුන රණතුංග මැතිතුමාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව සෑම ක්‍රීඩා සංගමයක්ම ගෙන්වා ඔවුන් සමග සාකච්ඡා කරනවා. අවශ්‍යතා සොයා බලා වාර්ථා සකස් කරගෙන යනවා. ඉදිරි අය වැයෙන් සහ ව්‍යාපාර ආයතනවලට ආරාධනා කර ඒ අයගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු සැළසුම් කරනවා. එක් ක්‍රීඩාවක් එක් ව්‍යාපාර ආයතනයකට භාර ගන්නා ලෙස කරන ඉල්ලීමට අවශ්‍ය සැළසුම් ජාතික ක්‍රීඩා සභාව සකස් කරගෙන යනවා. මෙරට තිබෙන සෑම විදේශ තානාපති කාර්යාලයකින්ම ඉල්ලීම් කරන්න සූදානමින් සිටින්නේ එක් ක්‍රීඩාවක් සදහා එක් රටක සහයෝගය ලබා දෙන ලෙසට.

    අපි රටට පදක්කම් ගෙන ඒමට හැකියාව දක්ෂතා තිබෙන දරුවන් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව උසස් දක්ෂතා සංචිතයක් නිර්මාණය කර ඔවුන්ගේ පුහුණුවීම් හා අනෙකුත් පහසුකම් පිළිබදව නිරතුරුවම සොයා බලනවා. මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක් ද ඔවුන් හට ලබා දෙනවා. මම දකිනවා මෙම කටයුතු තවත් ශක්තිමක් කළ යුතුයි කියා. ආහාර දීමනාව දිනකට රුපියල් 1000 ක් ලබා දෙනවා. එය වැඩි
    කිරීමට කටයුතු කරනවා. ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් 50,000 ක දීමනාවක් ලබා දෙනවා. පසුගිය කාලයේ ගැටලුවක් පැන නැගී තිබුණා රජයෙන් වැටුපක් ලබන පුහුණුකරුවන්ට එම දීමනාව ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පිළිබදව. මම එයට ද විසදුම් ලබා දී ඔවුන්ට රුපියල් 50,000 දීමනාව ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම් වරයාට පසුගිය මාසයේ දැනුම් දුන්නා. කඩිනමින් ඒ දීමනාව ඔවුන්ට ලැබේවි.

    ගම්වල දක්ෂයින් ඉපදිලා ඒ ගමේම ජීවිතය අවසන් වෙනවා. එම දක්ෂයින් හදුනාගැනීමට වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක වූයේ නැහැ. දැන් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මම ජාතික ක්‍රීඩා සභාවට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ප්‍රාදේශීය ක්‍රීඩා සංචිතය ගොඩනැගීමට, ඉන්පසු දිස්ත්‍රික් ක්‍රීඩා සංචිත. පළාත් ක්‍රීඩා සංචිත ගොඩ නැගීම අපි ආරම්භ කරනවා. ඒ ඒ පළාත්සභාවල ක්‍රීඩා අමාත්‍යාංශ මගින් එම සංචිත පවත්වාගෙන යා යුතුයි.

    මාධ්‍ය ආයතනවලින් මම ඉල්ලන්නේ අඩුපාඩු තිබෙන තැන පෙන්වා දෙන්න, විවේචනය කරන්න. එහි ගැටලුවක් නැහැ. ඒ වගේම මම ඔවුන්ගෙන් ඉල්ලනවා ඔබ ආයතනවල අනුග්‍රාහකත්වය ක්‍රීඩකයින්ට ලබා දෙන්න, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉතිහාසය, ඔවුන්ගේ දක්ෂතා අප වෙත පෙන්වා දී සහයෝගය ලබා දෙන්න. අපේ ක්‍රීඩාව නගාසිටුවීමට ඔබේ දායකත්වය ලබා දෙන්න කියලා මම බොහෝම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

    මෙහිදී අමාත්‍යතුමාගේ පෞද්ගලික මුදලින් දිලංක ඉසුරු කුමාර ක්‍රීඩකයාට සහ ඔහුගේ පුහුණුකරු රුක්ෂාන් ගුණතිලක මහතාට මුල්‍යමය තිළිණයන් ප්‍රදානය කෙරිණි.

    දිලංක ඉසුරු ක්‍රීඩකයා හා සෙසු ක්‍රීඩකයින් පුහුණුවන කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාපිටියට යාබදව ඇති බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය වෙත ගොස් එහි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ඔවුන් විසින් පෙන්වා දුන් අවශ්‍යතා කඩිනමින් සැපිරිය යුතු බව අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් එරන්ද ලියනගේ මහතා වෙත උපදෙස් ලබා දෙන ලදි. පුහුණුකරු හා ක්‍රීඩකයින් විසින් එම පුහුණු මධ්‍යස්ථානය නිසි පිළිවෙලට තබාගැනීම පිළිබදව අමාත්‍යවරයා එහිදී ඔවුනට විශේෂ ස්තූතියක් ද කළේය.   දිලංක ඉසුරු කුමාර ක්‍රීඩකයා හට නිවසක් හා ඉදිරි පුහුණු කටයුතු කරගෙන යාමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට කටයුතු සොයා බලා ඒවා ඉටු කර දීමට අමාත්‍යවරයා එකග විය. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් හට ඉදිරියේ දී අතිගරු ජනාධිපතිතුමා සූදානම් කර ඇති පිළිගැනීමේ උත්සවයේ දී රජයක් ලෙස ඔවුන් ඇගයීමට විශාල මුදල් තිළිණ හා අනුග්‍රාහකත්වයන් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා එහි දී සිහිපත් කරණු ලැබීය.

    මෙම අවස්ථාවට දිලංක ඉසුරු ක්‍රීඩකයාගේ පුහුණුකරු රුක්ෂාන් ගුණතිලක, බර ඉසිලීමේ සංගමයේ සභාපති එච්.පී.ඒ.ආර්.බණ්ඩාර මහතා, අමාත්‍යවරයාගේ උපදේශක සුදත් චන්ද්‍රසේන මහතා හා සම්බන්ධීකරණ ලේකම් එරන්ද ලියනගේ මහතා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya