මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ ඉලක්කයයි - ජනපති කියයි

    අප්‍රේල් 24, 2022

    4වන ආසියා - පැසිෆික් ජල සමුළුව ඇරඹේ ... ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ ඉලක්කයයි ... සමුළුව අමතමින් ජනපති කියයි .

    ආසියා - පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ අපගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට සුදානම්- ජපාන අගමැති.

    ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ ජලය ආශ්‍රිත යටිතලපහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින්, රටපුරා නව ජල ව්‍යාපෘති ඇරඹීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිතුමා කියා සිටි.

    ජපානයේ කුමමොටෝ හි ඇරඹි 4වන ආසියා - පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් (23) පෙරවරුවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    “තිරසර සංවර්ධනය සඳහා ජලය : හොඳම භාවිතයන් සහ ඊළඟ පරම්පරාව” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහභාගී වෙති. සමුළුවේදී ජලය සම්බන්ධ විවිධ ගැටලු හා 2017 වසරේ මියන්මාරයේ පැවැති 3වන ආසියා - පැසිෆික් සමුළුවේ දී සම්මත කරගත් “යැන්ගොන් ප්‍රකාශයේ” දක්වා ඇති නිර්දේශ ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරේ. සමුළුවේ ප්‍රගතිය 2023 මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුවේ දී “කුමමොටෝ ප්‍රකාශය” ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතය.

    “කුමමොටෝ ප්‍රකාශය යනු ජලය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඉහළ පෙළේ නායකයින්ගේ එකතුවෙන් ගොඩනැගෙන දැඩි අපේක්ෂාවන් වල එකතුවකි. එම ගැටළු විසඳීම සඳහා අපි අපේ දැනුම එකට එක් කිරීමට උත්සාහ කළ යුතු බව “ආසියා - පැසිෆික් ජල සමුළුවේ” සභාපති යොෂියුකි මෝරි (Yoshiyuki Mori) මහතා සඳහන් කළේය.

    “දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත්, සනීපාරක්ෂාව සහ දරිද්‍රතාවය වැනි සමාජයක පවතින අභියෝග රාශියකට ජල ප්‍රශ්න මූලිකව ඉවහල් වේ. මෑතකාලයේ ලෝකයේ ජලය ආශ්‍රිත විපත් වැඩි වී තිබේ. ආසියා - පැසිෆික් කලාපයේ, පසුගිය වසර 30 තුළ ජලය ආශ්‍රිත ආපදා තුන් ගුණයකින් වැඩි වී ඇත. දිළිඳුකම තුරන් කිරීම සඳහා ජලය භාවිතා කරමින් දේශීය සනීපාරක්ෂක වතාවරණය වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. ආසියා - පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ අපි අපගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට සුදානමින් සිටින්නෙමු” යැයි සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා (Fumio Kishida) මහතා සඳහන් කළේය. කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ වුවද ගත වූ දෙවසරේ දී සෙසු වර්ෂයන්ට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ජල සැපයුම් ලබාදීමට හැකි වූ බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

    එමෙන්ම ජල චක්‍ර කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය. කොවිඩ් වසංගතය හේතුවෙන් පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් ළඟා කරගැනීමට ඇති අවකාශයන්ට බාධා එල්ල වෙමින් තිබේ. එසේ වුවද පසුගිය දෙවසර තුළ තම රජයේ සංවර්ධන ප්‍රයත්න මූලධර්මය වන සහභාගීත්ව සංවර්ධන න්‍යාය භාවිතා කර සංවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමුඛතාවක් දුන් බව ජනාධිපතිතුමා පැවසීය.

    පවතින තීරණාත්මක කාලයේ දී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන්ම තිරසර ප්‍රයත්න උදෙසා වන ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම්, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් දෙන සහයෝගීතාව ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මහතා සමාරම්භක උත්සවයට සහ රාජ්‍ය නායක සමුළුවට සහභාගි විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya