අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අට මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

    මාර්තු 25, 2022

    බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අලුතෙන් ඉදිකරන ලද අට මහල් වාට්ටු සංකීර්ණය (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයට, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඇතුළු දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සහ ආයුර්වේද ක්ෂේත්‍රය නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගී වූහ.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් සුභපැතුම් එක් කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම රෝහල් සංකීර්ණය ඉදිකිරීම වසර 15කට ආසන්න කාලයක් තුළ ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බවද විෂය භාර ඇමතිවරයාගේ සහ නිලධාරීන්ගේ උනන්දුවෙන් මෙය සාර්ථක කරගැනීමට හැකි වූ බවද කියා සිටියේය.

    Health Tourism තත්ත්වයට ආයුර්වේද වැඩපිළිවෙල බෙහෙවින්ම බලපානු ඇතැයි තමා විශ්වාස කරන බව කියා සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සුභසාධනය වෙනුවෙන් කටයුතු කරනවා සේම ඒ හරහා රටේ පුරවැසියාට බරක් නොවන ලෙස යම් කිසි ආකාරයක ආර්ථික උත්පාදනයක් ඇති කිරීමට ඇති වුවහොත් මීටත් වඩා ස්වාධීනව ආයෝජන ඉදිරියට ගෙනයාමට හැකිවෙනු ඇතැයි අවධාරණය කළේය.

    අප රටේ ආයුර්වේද ක්ෂේත්‍රයේ සුවිශාල පරිවර්තනීය අවස්ථාවකට අද දින සම්බන්ධ වන බව පවසමින් සිය අදහස් දැක්වීම ඇරඹූ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා අප රටේ ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයුර්වේද රෝහල් වෙනුවෙන් වැය කරන ලද විශාලතම මුදල මෙම බොරුල්ල නවීන රෝහල් සංකීර්ණය සදහා වැයකර ඇතැයි සදහන් කළේය.

    2008 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවදියේ පටන් මෙම කටයුත්ත ක්‍රමානුකූලව වසර ගණනාවක් තුළ සිදුකළ බවද, මිලියන 1900කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් රජය විසින් ඒ සදහා ලබාදුන් බවද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අවධාරණය කළේය.

    දේශීය වෙදකම් ක්ෂේත්‍රයේ අලුත් පුනර්ජීවනයක් ලබා ඇති කාල පරිච්ඡේදයක් බවද, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ස්වර්ණමය යුගයකට ගමන්කර ඇති බවද කියා සිටියේය. පසුගිය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙම රෝහල් පද්ධතිය තුළ රෝගය මැඩලීමට කටයුතු කළ බවද, ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයේ දහසකට වැඩි වෛද්‍යවරු පිරිසක් ඒ සදහා සේවය ලබාදුන් බවද සිහිපත් කළ අමාත්‍යවරයා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ගේ සීමාවාසික පුහුණු කාලසීමාව තුළ ඔවුන්ට ඇති පහසුකම් වැඩිදියුණු කිරීමටද මෙම රෝහල් පද්ධතිය උපයෝගී වන බව අවධාරණය කළේය.

    විවිධ රෝගාබාධ සදහා නේවාසික ප්‍රතිකාර ලබාදීමේ අවස්ථාවද මෙමගින් සැලසෙනු ඇතැයි සදහන් කළ අමාත්‍යවරයා දෙස් විදෙස් සංචාරක ක්ෂේත්‍රය තුළත් මෙම ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රතිකාර මගින් විදේශ විනිමය උත්පාදනය කිරීමේ මහත් අවස්ථාවකට ඉඩකඩ සැලසෙන බවද වැඩිදුරටත් සදහන් කළේය.

    ආයුර්වේද ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රාශියක් ලබාගැනීමට මෙන්ම මෙම රෝහල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට ජනතාවට යහපතක් සැලසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

    අප රට වසර 70ක් මුළුල්ලේ නිදහස් අධයාපනයට සේම නිදහස් සෞඛ්‍ය සේවාවට ලබාදෙන දායකත්වය සිහිපත් කළ අමාත්‍යවරයා ලෝකයේ අන් රට වලට සාපේක්ෂව අප රට දකුණු ආසියාවේ සෞඛ්‍ය දර්ශක වල ඉහලින් සිටීමට මෙරට නිදහස් සෞඛ්‍ය සේවය ලබාදුන් දායකත්වය ඇගයීමටද අමාත්‍යවරයා අමතක නොකළේය.

    ආයුර්වේද ක්ෂේත්‍රය, දේශීය වෙදකම් ක්ෂේත්‍රය තුළ විදේශීය මුදල්, ආධාර, ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇතැයිද, මින් ඉදිරියේදී රටට ආදායම් මෙන්ම විදේශ විනිමය උත්පාදනය කරන ප්‍රධාන මාර්ගයක් බවට එය පත්වෙනු ඇතැයිද සදහන් කළ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අප රටේ ජනතාව තවදුරටත් සුවපත් කිරීමට මෙම රෝහල් පද්ධතිය හේතු වනු ඇතැයි බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

    මෙම අවස්ථාව සදහා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්වූහ

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya