මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට ගිවිසුම අත්සන් තබයි

    මාර්තු 13, 2022

     පැමිණෙන තර්ජන, ගර්ජන මෙන්ම රටට ආවේණික දුර්වලතා හඳුනාගනිමින් පැමිණෙන දේශීය හා විදේශීය ආයෝජකයන් අපි භාරගත යුතු යි.- කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක
     රුපියල් බිලියන 3.5 ක් මූලිකව වැයකරමින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත පණ ලබයි.

    දැනට ශ්‍රී ලංකාව වැටී තිබෙන තැනින් ගොඩ එන්නට නම් දේශීය මෙන් ම විදේශීය ආයෝජකයන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දේශීය කඩදාසි අවශ්‍යතාව සපුරන්නට සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ,( 09 දින) ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

    මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂාව වේ. සීමාසහිත ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම අතර එම ගිවිසුම කොළඹ  පිහිටි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේ දී අද අත්සන් තැබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    අපේ රටට පැමිණි ආයෝජකයන්ගේ ඉතිහාසය දෙස බැලුවා ම හරි ම කණගාටුදායක යි. ලංකාවේ ටයර් කම්හල ගත්තේ පුද්ගලික ආයෝජකයෙක්. වානේ සංස්ථාව ගත්තේ පුද්ගලික ආයෝජකයෙක්. ඒවා එතනින් ම ඉවර වුණා. ඒ නිසා අපේ අතීතය ගැන අප ඉදිරියේ තියෙන චිත්‍රය එතරම් හොඳ නැහැ. හැබැයි එහෙම කියලා අපිට දේශීය හා විදේශීය ආයෝජකයන් සමඟ ගමනක් යනවා හැරෙන්නට වෙන ක්‍රමයක් නැහැ. ලෝකයේ එක අවදියක් තිබුණා සෝවියට් දේශයේ සමාජවාදයේ ආරම්භයත් සමඟ සියලුම ආයතනවල නිෂ්පාදනය, බෙදාහැරීම හා අයිතිය රාජ්‍ය සතු කරලා මධ්‍යගත පාලනයක් හරහා ලෝකයේ නිෂ්පාදනය ආරම්භ කරපු. ඒ පටන්ගත් සමාජවාදී රටවල් සියල්ලම කඩාගෙන වැටුණා. 1972-1978 මහා ආර්ථික අර්බූදයත් එක්ක ම සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රටවල් සියල්ලට ම රැඳෙන්න බැරි වුණා. එදා රුසියාව රටවල් 15කට කැඩිලා ගියා. 1917 සෝවියට් රුසියානු විප්ලවයෙන් පස්සේ ලෙනින් ‘යුක්‍රේනයට’ නිදහස දුන්නා. නිදහස් රාජ්‍යයක් කළා. 1922 යුක්‍රේනය රුසියාව එකතුවෙලා තමයි
    සෝවියට් සමාජවාදී රාජ්‍ය කියන එක හැදුවේ. අනිත් රටවල් 13 එකතු වුණේ ඊට පස්සේ.

    දැන් මේ සියල්ල වැටිලා. විනාශ වෙලා. නැගෙනහිර ජර්මනියේ මිනිස්සු, බටහිර ජර්මනියේ මිනිස්සු තාප්පය කඩාගෙන පැන්නා. චෙකෝස්ලෝවැකියාව, පෝලන්තය, හංගේරියාව, මේ සියලු රටවල් කඩාගෙන වැටුණා. හැබැයි වියට්නාමයට හා චීනයට පුළුවන්කම ලැබුණා විශාල ආර්ථික ප්‍රතිසංස්කරණවලට යන්න. අපි දන්නවා කොමියුනිස්ට් පාලනය තුළ මහා විශාල සමානාත්මකතාවක් තිබෙනවා. සියලු දෙනාට ම
    මූලික අවශ්‍යතා සියල්ල සමාන මට්ටමකට ලැබෙනවා. පුළුවන් තරම් පන්ති විෂමතාව ඉවත් කෙරුණා. හැබැයි ඒ අයට බැරි වුණා ඒ ක්‍රමය තුළ ආර්ථිකය නංවන්නට. 1848 මාක්ස්, එංගල්ස් ලියපු දාස් කැපිටාල්වල ‘ව්‍යවසායකත්වය’ කියන වචනය කතාකළේ නැහැ. පිළිගත්තේ නැහැ. ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කන ධනයට ‘ව්‍යවසායකත්වය’ කියනවා කියලා ඔවුන් කිවුවෙ.

    ඒ නිසා ව්‍යාවසායකත්වයට, කළමනාකරණයට තැනක් දුන්නේ නැහැ. නමුත් 1978වනවිට ඒ අයට සිද්ධ වුණා දේශීය ව්‍යවසායකයන්ට ව්‍යාපාර භාර දෙන්න. ඩෙන් ෂියාවෝ පින් චීනයට පෞද්ගලික ව්‍යවසායකයන්ට, ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට ඉඩ දුන්නා. විදේශීය ආයෝජකයන්ට එන්න කිවුවා. එදා පහර දී එළවාගත්ත ඇමෙරිකානුවන්ව ආයෝජකයො විදියට එනකොට වියට්නාමය ආදරයෙන් පිළිගත්තා. ඒ නිසා අද වියට්නාමය නැඟිටලා. අද ඇමෙරිකාවේ දළ දේශීය නිශ්පාදිතය ඇ.ඩො. ට්‍රිලියන 20.7ක් විතර වෙනවා. චීනය 15.7ක් විතර. අපේ රටවල් 06ටත් පහළ. මිල දී ගැනීම් අතින් ඩොලර් බිලියන 5000කටත් උඩින් චීනය ඉන්නවා. 1990 දී අපේ රටේ අපනයන ආදායම බිලියන 02යි. වියට්නාමයේත් ඒවනවිට බිලියන 02යි. 2020 වියට්නාමයේ බිලියන 280යි.

    ලංකාවේ බිලියන 10යි. මේක තමයි අපිත් වියට්නාමය සහ චීනයත් වෙනස් වෙන්නේ. ආසියාවට තමයි මේ කාලය තුළ වැඩි වශයෙන් ම ආයෝජන ගලාගෙන එන්නේ. චීනයට, වියට්නාමයට, ඉන්දියාවට, බංගලාදේශයට හුඟක් ආයෝජන එනවා.

    ලංකාවට එන ආයෝජකයින් අපි භාරගත යුතු යි. ඒ අයට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු යි. අපි දැනට ජාත්‍යන්තර ව්‍යාපාර දර්ශකයේ ඉන්නේ 99වන ස්ථානයේ. අපිට ඉන්දියාව, චීනය එක්ක තරඟ කරන්න බැහැ ඇත්තටම. අපිට සිටින ප්‍රධාන තරඟකරුවන් තමයි සිංගප්පූරුව සහ හොංකොං. අපේ රටේ කෘෂිකාර්මික නොවන කර්මාන්ත තිබෙන්නේ 1035732ක් පමණයි. එයින් සේවකයන් 100කට වඩා ඉන්න ව්‍යාපාර තියෙන්නේ 2440ක් පමණයි. ඉතිරි සියයට 91ක ප්‍රමාණයක් ම ඉතා කුඩා ඒවා. දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම හා හැකි තරම් නව ව්‍යවසායකයන් බිහි කිරීමට කර්මාන්ත අමාත්‍යංශය වශයෙන් අපි කටයුතු කළ යුතු යි.

    ඒවගේ ම කර්මාන්ත සංවර්ධනය සඳහා සියයට 1ක් 2ක් වගේ පොලියට මූල්‍යාධාර ලබා දීමට සමාගම් රැසක් අපට එකඟතාව පළකොට තිබෙනවා. මේවගේ විශාල වැඩකටයුතු ඉදිරියට කරගෙන යද්දි අපිට තර්ජන, ගර්ජන ඕනෑතරම් එන්නට පුළුවන්. ඒ අස්සේ ශ්‍රී ලංකාවට ආවේණික දුර්වලතා මුණගැසෙනවා. මේ සියල්ල හඳුනාගෙන කටයුතු කළ යුතු යි, යැයි වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ජනරාල් දයා රත්නායක (විශ්‍රාමික), සී/ස කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න , අමාත්‍යංශ නිලධාරීහු ඇතුළු පිරිසක් ද එක් වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya