මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මාධ්‍ය සමීක්ෂා" සිව්වැනි කලාපය එළි දකී

    මාර්තු 03, 2022

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රකාශයට පත් කරන "මාධ්‍ය සමීක්ෂා" සිව්වැනි කලාපය එළි දැක්වීම ඊයේ (02) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණී.

    "සමාජ මාධ්‍යයේ නැගීම" ලෙස මෙම කලාපය නම් කර ඇති අතර ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස ශූරීන් වෙනුවෙන් උපහාර කලාපයක් ලෙස මෙය නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් සංඛ්‍යාව ලක්ෂ 79ක් වන අතර ලෝකයේ බිලියන 4.8ක් සමාජ මාධ්‍ය පරිශීලනය කරන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා කියා සිටියේය.තවද සමාජ මාධ්‍ය පරිශීලකයන්ට සමාජ මාධ්‍ය ව්‍යාකරණය පිළිබඳව කිසිදු අදහසක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ආරාධිත දේශනය සිදු කරමින් විද්‍යා ලේඛක , ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා කියා සිටියේ, ශීඝ්‍රයෙන් දියුණූ වන ප්‍රපංචයක් ලෙස සමාජ මාධ්‍ය හඳුනාගත හැකි වන අතර සමාජ මාධ්‍ය සංවාදය පුළුල් වීම අවශ්‍ය වන බවයි.මෙහි සංකල්පීය නිරවුල් බවක් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා, මෙම ප්‍රවණතා විග්‍රහ කිරීම වෙනුවට පක්ෂග්‍රාහී වීම් සමාජ මාධ්‍ය තුළ දක්නට හැකි බව පෙන්වා දෙයි.

    ආවේග වෙනුවට දත්ත මත පදනම්ව කටයුතු කළ යුතු බවත් සමාජ මාධ්‍ය තුළ වාරණය වෙනුවට නිසි නියාමන සොයා ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.සමාජ මාධ්‍ය පිළිබඳ දුර්මත සමාජගත වී ඇති බව පවසන ඒ මහතා ඩිජිටල් සාක්ෂරතාවය පවතින පිරිස් සමාජ මාධ්‍ය අවභාවිත කරන බවත් මේ වන විට සමාජ මාධ්‍ය ඩිජිටල් පුරවැසිභාවය ලෙස පුළුල් වී ඇති බවත් පෙන්වා දුන්නේය.
    උත්සවයට සහභාගී වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවසුවේ, ජනසන්නිවේදනය ප්‍රමාණාත්මක ප්‍රසාරණයක් පසුගිය සියවසේ අවසාන දශකයේ සිට පැවති බවත් ඊට සාපේක්ෂව එහි ගුණාත්මක ප්‍රසාරණයක් සිදු නොවූ බවය.සමාජ මාධ්‍ය මානව ප්‍රගමණයට යොදා ගත හැකි විශාල අවකාශයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා, මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන් තඹවිට මහතා ඇතුලු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිලධාරීන් , ජනමාධ්‍යවේදීන් ,විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya