මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභ්‍යන්තර යාන්ත්‍රණයකින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න හොඳින් විසඳාගත හැකියි - විදේශ ලේකම්  

    පෙබරවාරි 26, 2022

    මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියා කරන බොහෝ අන්තර්ජාතික ආයතන ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එක් ආකාරයකටත් බලගතු රටවලට තවත් ආකාරයකටත්, දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

    එම ආයතන ඉතා භයානක ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝනය කරන බලගතු රටවල් කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරන බව ද ඔහු කීවේය. 2022 පෙබරවාරි 28 සිට අප්‍රේල් 01 දක්වා ජීනීවා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ රටට එරෙහිව නැගී ඇති චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් විදේශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

    “ අන්තර් ජාතික ආයතන, ත්‍රස්තවාදයට ගොදුරු වුණු ලංකාව වැනි රටකට ඇඟිල්ල දික්කළාට එයට මගපාදපු සංවිධානවලට ඇඟිල්ල දික්කරන්නෙ නෑ. මිලේච්ඡ ආකාරයට ජනසංහාරයක් කරපු ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳව සඳහනක්වත් කරන්නේ නෑ. අපි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව කටයුතු කරනවා. ඊට බැඳී සිටිනවා. 2020දි අපි මානව හිමිකම් කොමිසමට කිව්වා 2015 අත්සන් කරපු සම අනුග්‍රාහ ගිවිසුමෙන් රජයක් විදියට ඉවත් වෙනවා කියලා. ඒ වගේම අපි එහිදී පොරොන්දුවුණා රටේ මානව හිමිකම් සහ සාමය වෙනුවෙන් අනිවාර්යෙන්ම අවශ්‍ය දේ කරනවා කියලා. අපි ඒ පොරොන්දුව ඉටුකරලා තිබෙනවා. අතුරුදන්වූවන්ගේ කාර්යාලය, වින්දිතයන්‍ට වන්දි ගෙවීමේ කාර්යාලය කාර්යාල 05ක් ඇතුළු පවත්වාගෙන යන්න පහසුකම් දුන්නා. 46 වන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී තොරතුරු සොයා ගැනීමේ යාන්ත්‍රණයක් පිළිබඳව යෝජනා වුණා. එහිදී අපි කිව්වා බාහිරව ගෙනෙන යාන්ත්‍රණයකට අපි එකඟ නැහැ කියලා. මේ රටේ අභ්‍යන්තර යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වන නිසා බාහිර යාන්ත්‍රණයකට එකඟ වෙන්න බැහැ. අපි ඒ බවමානව හිමිකම් කොමසාරිස්වරියට කිව්වා.”

    මානව හිමිකම් කොමිසම ගෙන එන චෝදනා එක් ජනකොට්ඨාසයකට හෝ දේශපාලන පක්ෂයකට පමණක් නොව සමස්ත රටටම බලපාන බව පෙන්වාදුන් විදේශලේකම්වරයා සමහර පිරිස් GSP+ සහණය නතර කරන ලෙස යෝජනා කර ඇති බවත් කීවේය. යම්කිසි හෙයකින් GSP+ සහණය අහිමි වුවහොත් රජයට මෙන්ම ධීවර, ඇඟලුම් සහ කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි නිරත පුද්ගලයන්ගේ ආර්ථිකයට විශාල බලපෑමක්වන බව ද සඳහන් කළේය. මෙවර සමුළුවේදී නව යෝජනා සම්මත කිරීම හෝ ඡන්ද විමසීම් සිදුනොවේ.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කරන වාර්තාවක් සාකච්ඡාවට භාජන කිරීම පමණක් සිදුවන බවත් ප්‍රකාශ කළ ලේකම්වරයා ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල්තවදුරටත් සහයෝගය දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කීවේය. සැසිවාරයට ඉදිරිපත් වී තිබෙන මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට සාධක වී ඇති කරුණු සලකා බැලීමේදී ඉන් සියයට 95ක් ඇත්තේ රටේ අභ්‍යන්තර දේශපාලන කටයුතු බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    “ශ්‍රී ලංකාව මහජනතාව විසින් තෝරාගත් ජනාධිපතිවරයෙක්, අමාත්‍ය මණ්ඩලයක් සිටින රටක්.ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මිසක් හමුදා පාලනයක් නොවෙයි. ඒ නිසා රජයට මහජනතාව සමග එකතු වෙලා තීන්දු තීරණ ගන්න පිළිවන්. රටේ සෑම ප්‍රශ්නයක්ම ජිනීවා මගින් විසඳගන්න බලාපොරොත්තු වෙනවානම් එය ප්‍රශ්නයක්. ඒ නිසා අපි පැහැදිලිව දන්වා සිටියා රටේ අභ්‍යන්තර කටයුතු ද ප්‍රශ්න කිරීම යෝග්‍ය නොවන බවත්. එම කරුණු කොමසාරිස්වරියගේ විෂයපථයට අදාළ නොවන බවත්. සෑම රටක් ගැනම මේ ආකාරයට ප්‍රශ්න කරනවද නැත්නම් ලංකාව වගේ කුඩා රටක් ගැන පමණක්ද මෙහෙම ප්‍රශ්න කරන්නේ කියල අපට ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ අවස්ථා දෙකකදි ත්‍රස්තවාදයෙන් බැටකාපු රටක්. වසර 30ක් පමණ ත්‍රස්තවාදයට ගොදුරු‍වුණු ලංකාව වැනි රටකට මේවගේ අභූතචෝදනා කරන්නේ ඇයි කියල අපි ඇහුවා. ලංකාව කියන්නේ ත්‍රස්තවාදී රටක් නෙවෙයි. ත්‍රස්තවාදය මැඩපවත්වන්න කටයුතු කරපු රටක්.”

    වසර 30ක් පැවැති කුරිරු යුද්ධයෙන් පැන නැඟුණු ප්‍රමුඛතම ගැටලු රැසකට සාර්ථක විසඳුම් දී ඇති බවත් විසඳීමට ඉතිරිව ඇත්තේ අවශේෂ ප්‍රශ්න කිහිපයක් බවත් ප්‍රකාශ කළ විදෙස්ලේකම් ජයනාත් කොළඹගේ මහතා රජය කටයුතු කරන්නේ ඉතිරි ප්‍රශ්නවලටත් සාර්ථක විසඳුම් දී එකමුතුව, එක්සත්ව ඉදිරියට යාමට බව ද ප්‍රකාශ කළේය.

    විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යය රටේ තිබෙන දැනෙන සුළු, මැනිය හැකි දේවල් අන්තර්ජාතික ප්‍රජාවට පෙන්වීම වුව ද එසේ කරන්නේ අන්තර්ජාතික ප්‍රජාව සතුටු කිරීමට නොව රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඉහළ මට්ටමින් රඳවා ගැනීමට බව ද ඔහු කීවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya