මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ජනතාවගෙන් ලැබෙන ඕනෑම වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය මිලදී ගන්න සූදානම් - උපසභාපති,වී අලෙවි මණ්ඩලය

    පෙබරවාරි 14, 2022

    වී අලෙවි මණ්ඩලය ගොවි ජනතාවගෙන් ලැබෙන ඕනෑම වී ප්‍රමාණයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අනූව ඕනෑම ගොවියෙකුට ඕනෑම වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට පහසුකම් සළසා ඇති බවද වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වී අස්වනු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමිනි.

    ගොවිජනතාවට තමන් සතු ඕනෑම උරයක ඕනෑම ආකාරයකට වී අලෙවි මණ්ඩලයට වී ලබාදිය හැකි බවද, විශාල වී තොගයක් රැගෙනආ අවස්ථාවක පාලම් තරාදි මගින් එකවර කිරා ඉතාම ඉක්මණින් ගොවියාව නිදහස් කරන ක්‍රමවේදයක් සකස් කර ඇතැයිද, ඒ අනූව අත්පිට මුදලට හෝ දිනක් හෝ දෙකක් ඇතුළත ඉතාම ඉක්මණින් මුදල් ලබාදීමේ ක්‍රමවේදයක්ද පිළියෙල කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ උපසභාපතිවරයා සදහන් කළේය.

    මෙවර මහ කන්නය අභියෝග රැසකට මුහුණ දෙමින් ආරම්භ කළ ඉතාම හොඳ මහ කන්නයක් බවද, මෙම කන්නය තුළ බලාපොරොත්තු වුණාට වඩා ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතින බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනූව අපේක්ෂිත නිෂ්පාදනයෙන් 70%කට අධික ප්‍රමාණයක් අස්වනු නෙලීමට හැකිවී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    මෙම ජාතික වැඩසටහන තුළ ගොවියාට වී සදහා ඉතාමත් සාධාරණ ඉහළ මිලක් ලබාදෙමින් ගොවි ජනතාව ආරක්ෂා කරගැනීමටත්, ආරක්ෂිත වී තොගයක් තැන්පත් කරගැනීමෙන් සහල් මිල ඉහළ යන අවස්ථාවකදී පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම තුළින් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමත්, ප්‍රධාන වශයෙන් වී අලෙවි මණ්ඩලයට පැවරී ඇති ප්‍රධාන වගකීම බවත් ඔහු සිහිපත් කළේය.

    ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය මේ වන විට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇතැයිද, වී මිලදී ගැනීමට ඇති සියලු බාධා ඉවත් කර වී මිලදී ගැනීමට හැකි පරිසරයක් මේ වන විට වී අලෙවි මණ්ඩලය නිර්මාණය කර ඇතැයිද වී අලෙවි මණ්ඩලයේ උප සභාපතිවරයා කීය.

    ගොවි ජනතාව අස්වනු නෙලන අවස්ථාවේදී ගොවියාට ඇති ලොකුම ගැටලුව ඉතාමත් ඉහළ තෙතමනයක් සහිත වී අස්වනු ලෙස ලැබීම බවත්, බහුකාර්ය යන්ත්‍රයෙන් අස්වනු නෙළීමේදී ඉතාම ඉහළ තෙතමනයක් සහිත වී ලැබෙන බවද, මෙම තෙතමනය සහිත වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් වී අලෙවි මණ්ඩලය සකස් කර ඇතැයිද ඔහු අවධාරණය කළේය.

    සෘජු මිලදී ගැනීම, නියෝජිතයින් මාර්ගයෙන් මිලදී ගැනීම, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හරහා මිලදී ගැනීම, ගමට ගොස් වී මිලදී ගැනීම සහ අත්පිට මුදලට වී මිලදී ගැනීම ආදී වූ ක්‍රමවේද ගණනාවක් මෙම වසර තුළ වී මිලදී ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇතැයිද, ඒ හේතුවෙන් ගොවි ජනතාවට මේ අවස්ථාවේ ඉතාමත් හොඳ තත්ත්වයක් උදාවී ඇතැයිද දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.

    ඉහළ අස්වැන්නක් ලැබෙන කෙටි කාලසීමාව තුළ සාමාන්‍යයෙන් මිල පහළ යන තත්ත්වයක් සැමදා ඇති වුවද, මෙවර න්‍යායාත්මකව ඇතිවන එම තත්ත්වය වෙනස් කිරීමට වී අලෙවි මණ්ඩලය සමත් වූ බවද ඔහු පැවසුවේය.

    මෙම වසරේ වී අස්වනු නෙලන අවස්ථාවේ ඉහළ මිලක් තීරණය වී ඇතැයිද, මෙම ඉල්ලුම ඉහළ යාම සහ මිල ඉහළ යාම සදහා ප්‍රධාන වශයෙන් බලපෑවේ වී අලෙවි මණ්ඩලයේ එනම් රාජ්‍ය මැදිහත්වීම බවද සිහිපත් කළ වී අලෙවි මණ්ඩලයේ උපසභාපතිවරයා, මෙම වසර තුළ අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදුන් තරඟකාරී මිල ඔස්සේ ගොස් ආරක්ෂිත වී තොගයක් තැන්පත් කරගැනීමට හැකිවනු ඇති බවද වැඩිදුරටත් පැවසුවේය.

    වී අලෙවි මණ්ඩලය ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 90කටද, සම්බා වී කිලෝවක් රුපියල් 92ක මිලකටද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95ක මිලකටද සෘජුවම ගොවියාගෙන් ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇතැයිද, එම මිලට අමතරව සෑම ගොවියෙක් සදහාම රුපියල් 02ක ප්‍රවාහන වියදමක් ලබාදීමට තීරණය කර ඇතැයිද සඳහන් කළේය.

    නියම සහතික මිල ගොවියාට යා යුතු බැවින් ප්‍රවාහනය සඳහා අමතර රුපියල් 02ක් ගොවියාට ලබාදෙන බව සදහන් කළ දුමින්ද ප්‍රියදර්ශන මහතා, මේ හේතුවෙන් ගොවියන් ඉතාම උද්යෝගයෙන් සහ කැමැත්තෙන් වී අලෙවි මණ්ඩලයට වී ලබාදෙන බවද කියා සිටියේය.

    තෙත වී මිලදී ගැනීම සදහාද මෙම වසර තුළ ක්‍රමවේද කිහිපයක් වී අලෙවි මණ්ඩලය භාවිතා කරන බවද, සහතික මිලට වඩා රුපියල් 06ක් අඩුවෙන් වී මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියක්ද හිමිව ඇතැයි ඔහු පැවසුවේය.

    වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම අරඹා අද වන විට සති 02ක් වන බවද, මෙම ජාතික වැඩසටහන යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 35,000කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර මෙම වැඩසටහන තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට අපේක්ෂිත බවද, ඒ සදහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලය සතුව ඇතැයිද, මෙම වී ප්‍රමාණයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් ලබාගත හැකි අතර එය එක් මසක සහල් පරිභෝජනයට ප්‍රමාණවත් අස්වැන්නක් බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya