මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපි අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය දේශීය නිෂ්පාදන පරිභෝජනයට හුරු වීමයි" - කර්මාන්ත අමාත්‍ය  

    පෙබරවාරි 14, 2022

    අප අද අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය වන්නේ හැකිතාක්දුරට දේශීය නිෂ්පාදන පරිභෝජනය පුරුදු වීම බවත් එමගින් පමණක් අපට මෙරට නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් හැකියාව ලැබෙන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

    පසුගිය දා පානදුර නගර ශාලාවේ පැවති 'නෙල්ලි කෝලා' නිෂ්පාදකයා වන පානදුර maa Product සමාගම නිෂ්පාදනය කරන ලැබූ 'ගරක් කෝලා' සහ 'තල් කෝලා' පානයන් ජනගත කිරීමේ උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේ ය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

    "maa Product ආයතනය විසින් නිෂ්පාදනය කළ නෙල්ලි කෝලා පානය ජනගත කිරීමේ අවස්ථාවටත් මට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. එමගින් අප දිරිගන්වනු ලැබුවේ, මේ රටේ දේශීය අමුද්‍රව්‍ය පදනම් කරගත්තු ප්‍රණීත පානයකට අපේ තරුණ දූ දරුවන් අතර ප්‍රවණතාවක් ඇති කිරීමයි. ඒ ප්‍රයත්නය සැලකිය යුතු ලෙසින් සාර්ථක කරගෙන අද mas Product ආයතනයේ සභාපති මුදිත සමනක්කොඩි මැතිතුමන්ට හැකි වෙලා තිබෙනවා, තවත් එවැනි පාන වර්ග දෙකක් සමාජයට හඳුන්වා දෙන්න. එමගින් සෞඛ්‍යයට අහිතකර නොවන, සෞඛ්‍යමය වශයෙන් ගුණාත්මක පාන වර්ග දෙකක් වෙළඳපොළට පැමිණෙනවා.

    කෝලා සංස්කෘතියට එරෙහිව...

    මුදිත සමනක්කොඩි මැතිතුමන්ගේ මේ මැදිහත්වීම කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා අගය කරන්නේ ප්‍රධාන හේතු කීපයක් නිසයි. අද ලෝකයේ කෝලා සංස්කෘතිය කියන්නේ දැන්වීම් ඔස්සේ ඉතා බලවත්ව ගොඩනැගෙන සංස්කෘතියක්. එම කෝලා බීම වර්ග පිළිබඳ බොහෝ විවේචන දැකගත හැකියි. අපි බොන ඒ හැම කෝලා බීම එකකම සල්ලි ටික යන්නේ පිටරටට. ඒ සංස්කෘතියට එරෙහිව දේශීය නිෂ්පාදන බලගැන්වීම මගින් සෞඛ්‍යාරක්ෂිත බීමක් අපේ දූදරුවන්ට ලබාදීමට හැකිවීම මුදිත සමනක්කොඩි මැතිතුමාගේ මැදිහත්වීම මා අගය කිරීමට එක් හේතුවක්. ඒ වගේම එමගින් පිටරටට ඇදී යන විශාල මුදලක් රට තුළ ඉතිරි කරගැනීමට හැකිවීම තවත් හේතුවක්. අපි අද විදේශ විනිමය අර්බුදයකට රටක් ලෙස මුහුණ පා සිටිනවා. එහෙම රටක මෙවැනි දේශීය නිෂ්පාදන වැඩි වැඩියෙන් නිර්මාණය වීම පමණක් නොවෙයි, අපේ පාරිභෝගික ජනතාව එම නිෂ්පාදන ආදරයෙන් වැළඳගැනීම ද විය යුතුව තිබෙනවා. එසේ කළහොත් පමණයි අපේ රටේ නිෂ්පාදකයා
    ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ.

    'දියුණු නොවන රටවල හැටි'

    ලෝකයේ දියුණු රටවල් බොහොමයක් තමන්ගේ නිෂ්පාදන අගය කිරීම හරහා දියුණු වූ රටවල්, තමන්ගේ රටේ භාණ්ඩ පරිභෝජනය කිරීම මගින් දියුණු වූ රටවල්. තමන්ගේ රටේ නිෂ්පාදනවලට ඉහළ වැදගත්කමක් ලබාදී ඒවා පරිභෝජනය කිරීමට උනන්දු වන මිනිස්සු වෙසෙන රටවල් තමා දියුණු වී ඇත්තේ. තමන්ගේ රටේ දෙයට ගරහන, පිටරටින් එන දෙය හිස මුදුනින් පිළිගන්න, නිවටකමක් ඇති සමාජයන් පවතින රටවල් තමයි දියුණු නොවන්නේ. එහෙම නැතිනම් හෙමින් දියුණු වන්නේ. අද අපි අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමුවැනි අවම කොන්දේසිය තමයි හැකිතාක් දුරට අපේ රටේ නිෂ්පාදන පරිභෝජනයට පුරුදු වීම. ඒ නිසා අපි ඔබගෙන් ඉල්ලනවා, 'මේ රටේ නිෂ්පාදන පරිභෝජනයට පුරුදු වෙන්න, ඒවාට ප්‍රමුඛතාව දෙන්න, ඒවාට දිය යුතු නිසි තැන දෙන්න' කියා. එමගින් පමණක් අපට පුළුවන් මේ රටේ නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කරන්නත් ප්‍රවර්ධනය කරන්නත්.

    'රටට අගය එකතු කරන්නෙක්'

    'නෙල්ලි කෝලා, ගරක් කෝලා හා තල් කෝලා යන මුදිත සමනක්කොඩි මැතිතුමාගේ මෙම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළ ජයග්‍රහණය කරන විට තමයි ඔහුට හිතෙන්නේ විදේශ වෙළෙඳපොළ කරාත් මේ නිෂ්පාදන රැගෙන යෑමට. මේ කරන්නේ, අපේ රටට අගය එකතු කිරීමක්, 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමයට අගය එකතු කිරීමක්. එසේ අපේ රටට අගය එකතු කරනු ලබන කර්මාන්තකරුවන්ට අප සැමගේ සහයෝගය ලැබිය යුතුව තිබෙනවා. 'නෙල්ලි කෝලා වගේම අද ජනගත කරනු ලබන පාන වර්ග දෙකත් අපේ පාරිභෝගික සමාජය වැළඳගනියි' කියන විශ්වාසය මට තිබෙනවා. තවදුරටත් අපගේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙවැනි නිෂ්පාදන සිදු කිරීමට මුදිත සමනක්කොඩි මැතිතුමාට හැකිවේවා'යි ප්‍රාර්ථනය කරනවා."

    මෙම නව නිෂ්පාදන ජනගත කිරීමට අමතරව 'maa Product' ආයතනය 'ගෞරව උත්තමාචාර ප්‍රණාම උළෙලක්' ද සංවිධානය කර තිබූ අතර එහිදී 'කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට ගන්නා පියවරයන් අගයමින්' විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. එසේම ආතර් වී. දියෙස් ශ්‍රීමතාණන් අගයමින් සම්මාන පිදීමක් සිදු වූ අතර එය එතුමන්ගේ මී මුණුපුරු වෛද්‍ය එරංග පතිරණ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

    ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර, ප්‍රවීණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පී ලයනල් පීරිස්, ප්‍රවීණ නිර්මාණවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලයනල් බෙන්තරගේ යන මහත්වරු ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

    පැමිණි ආරාධිතයන් පිළිගැනීම 'maa Product සමාගමේ සභාපති මුදිත සමනක්කොඩි මහතා විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya