මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමට සෑම උත්සාහයක්ම දරන්න- ආරක්‍ෂක ලේකම්

    දෙසැම්බර් 17, 2021

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමට සෑම උත්සාහයක්ම දරන්න යැයි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.

    බත්තරමුල්ල තලංගම ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වන 'සෙත් සෙවණ' ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කිරීම වෙනුවෙන් පසුගියදා (14) සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

    ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණය කරන ලද ‘සෙත් සෙවණ’ මධ්‍යස්ථානය මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර කිරීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ හැකියාව ඉහළ නංවනු ඇත.

    ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිනි වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු මහත්මිය විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක ලේකම්වරයා පිළිගනු ලැබුවාය.

    මෙම මධ්‍යස්ථානය මගින් 75 දෙනෙකු සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති අතර ප්‍රතිසංස්කරණයට පෙර 25 දෙනෙකුට පමණක් පහසුකම් සලසා තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම උදාර කාර්යය සඳහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

    ‘මතින් නිදහස් ජාතියක් - සෞභාග්‍යයමත් දේශයක්’ බිහිකිරිමේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් පුළුල්කිරිමේ ජාතික වැඩසටහන යටතේ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.

    ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රගතිශීලී සංවර්ධනය සඳහා ආරම්භ කර ඇති ඵලදායී ක්‍රියාමාර්ග සහ රැඳවියන් යහපත් පුරවැසියන් බවට පත් කිරීම සඳහා වන ප්‍රතිකාර පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා විසින් සභාව දැනුවත් කළ අතර වෛද්‍ය අමරබන්දු සහ අධ්‍යක්‍ෂ කණිෂ්ක ද සිල්වා ඇතුළු සියලු දෙනාගේ නොපසුබට උත්සාහය තවදුරටත් අගය කළේය.

    ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය අගය කිරීමක් වශයෙන් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිනිය විසින් නාවික හමුදා සාමාජිකයෙකු වෙත ඇගයීම් සහතිකයක් සංකේතාත්මකව ප්‍රදානය කරන ලදි.

    නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි (විශ්‍රාමික), ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක සේවා) ජයන්ත එදිරිසිංහ, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනි චම්පිකා අමරසේකර, බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ හා රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, පරිත්‍යාගශීලීන්, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන් සහ නාවික හමුදා සමාජිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya