අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුනිල් පෙරේරා මහතාගේ අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි- අග්‍රාමාත්‍ය

    සැප්තැම්බර් 06, 2021

    ශෝක පණිවුඩය

    දශක පහක් පුරා ශ්‍රී ලාංකේය ජන හදවත් ස්පර්ශ කළ කණ්ඩායම් සංගීතයේ ප්‍රවීණයෙකු වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.

    සුනිල් පෙරේරාගේ නායකත්වයෙන් 1968 වසරේ දී ආරම්භ වූ ජිප්සීස් (Gypsies) සංගීත කණ්ඩායම 1970 වන විට පුළුල් ආරම්භයක් ලබා ගත්තේය. පවුලේ සොහොයුරන් පස්දෙනාගෙන් ඇරඹි ජිප්සීස් මුල් අවධියේ බටහිර ජනප්‍රිය ගීත සඳහා මුල් තැනක් දුන්නේය.

    ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය නවමු මාවතක ගෙනයාමට සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස් කණ්ඩායම කළ මෙහෙවර සුළුපටු නොවේ. ළිඳ ළඟ සංගමය, අම්මා අම්මා වැනි ජිප්සීස් කණ්ඩායමේ මුල්ම ස්වතන්ත්‍ර නිර්මාණ ඉතා කෙටි කලක් තුළ ජනතාව අතර ජනප්‍රිය විය.

    මෙරට ප්‍රථම අවිරාම (Nonstop) කැසට් පටය (ජොලිය-1981) දී නිර්මාණය කළ සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස් සංගීත කණ්ඩායම 1987 දී ලුණුදෙහි නමින් පළමුවරට ගීත හතරේ කැසට්පටය හඳුන්වා දුන්නේය.

    ජය මංගලම් වේවා!, අම්මා අම්මා,කුරුමිට්ටෝ, ලුණු දෙහි,අපි දෙන්නා,ඔයේ ඔජායේ, පිටි කොටපන් නෝනේ,අංකල් ජොන්සන්, ලතා නෝ කතා, ලොවේ සැමා එකම දැයේ සහ ඉතා මෑතක ගැයූ කොත්තමල්ලි ගීතය පවා සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස් කණ්ඩායමේ ජනප්‍රියත්වය ඉහළ තලයකට ගෙනාවේය.

    දේශපාලන මතිමතාන්තර කුමක් වුවත් සුනිල් පෙරේරා ගායකයකු සහ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස කළ පෙළහර ශ්‍රී ලංකාවේ ජන හදවත් තුළ සදා නොමැකෙන මතකයක් බව මාගේ විශ්වාසයයි.

    අවුරුදු 68ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ සුනිල් පෙරේරා මහතාට මොක් සුව ලැබේවා! යැයි මම ප්‍රාර්ථනා කරමි.

    සුනිල් පෙරේරා මහතාගේ අභාවයෙන් ශෝකයට පත් බිරිඳ ගීතා පෙරේරා කුලතුංග, සජිත් හා ගයාන් පුතුන් සහ රෙහානා සහ මනීෂා දියණියන් ඇතුළු පවුලේ සැමටත්, සුනිල් පෙරේරා ට ආදරය කළ ශ්‍රී ලංකාවේ ජන හදවත්වලටත් මාගේ බලවත් ශෝකය මෙයින් පුදකරමි.


    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya