මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ පරිත්‍යාග කරයි

    අගෝස්තු 03, 2021

    සිංගප්පූරුව පදනම් කරගත් ලාභ නොලබන, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වූ ගෝලීය සන්ධානය - (අ’ලයන්ස්-Alliance) විසින් පරිත්‍යාග කරන ලද, ඇ.ඩො. 180,000 පමණ වටිනා බීච්ටෙක් හයිඩ්‍රෝ ස්වීප් වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ අටක් (08) ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය (MEPA) වෙත ලැබී ඇත.

    මෙම පරිත්‍යාගය, අද පැවති උත්සවයක දී විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් වෙරළ සංරක්‍ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය   මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

    ජර්මනියේ කැස්බොහරර් ගෙලන්ඩෙෆාර්සියුග් ඒජී සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම බීච්ටෙක් හයිඩ්‍රෝ ස්වීප් වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍ර මඟින් කුඩා ප්ලාස්ටික් කැබලි හා අනෙකුත් අපද්‍රව්‍ය ඵලදායීව හා කාර්යක්ෂමව පිරිසිදු කිරීමේ හැකියාව ඇත. මෙම යන්ත්‍රයේ ඇති තවත් වාසියක් නම් අනතුරුදායක ද්‍රව්‍ය සමඟ මිනිස් සම්බන්ධතා අවම කරමින් වෙරළ පිරිසිදු කිරීම ආරක්ෂිතව සිදු කළ හැකි වීමයි.

    2021 මැයි මාසයේ දී සැළකිය යුතු පාරිසරික හානියක් සිදු කරමින් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් නිකුත් වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරිසිදු කිරීම සඳහා මෙම යන්ත්‍ර උපකාරී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලද්දේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසිනි.

    අ’ලයන්ස් ආයතනයේ ආධාර පිළිබඳ මූලික සාකච්ඡා, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය, විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති දිසානායක මහත්මිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සහ අ’ලයන්ස් ආයතනයේ නියෝජිතවරුන් වන ව්‍යාපෘති පිළිබඳ උප සභාපති නිකලස් කොලෙස්ච් මහතා, බාහිර සහභාගිත්වය හා අධ්‍යාපනය පිළිබඳ ප්‍රධානී කිම් ස්ටෙන්ගර්ට් මහතා සහ රජය හා මහජන කටයුතු පිළිබඳ ප්‍රධානී රවි ඇල්ෆ්‍රඩ්ස් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

    මෙම යන්ත්‍ර මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධීකරණය කිරීමේ ප්‍රයත්නය සඳහා, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරින් සම්බන්ධ විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ෆ්‍රෑන්ක්ෆර්ට් සිට කොළඹ දක්වා මෙම යන්ත්‍ර සූත්‍ර නොමිලේ ප්‍රවාහනය කිරීම සඳහා එකඟ විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු මොහාන් මීගොල්ල මහතා මෙම උපකරණ ගුවන් ප්‍රවාහන කටයුතු සම්බන්ධීකරණය කිරීමෙන් සහයෝගය දැක්වීය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් උපකරණ පරිත්‍යාග කිරීමේ මූලික සාකච්ඡා සහ ක්‍රියාවලිය යන දෙකටම පහසුකම් සලසන ලදී.

    බීච්ටෙක් ස්වීපී යන්ත්‍ර පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකාවේ වෙරළ පිරිසිදු කිරීමේ ප්‍රයත්නයන් සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් අ’ලයන්ස් ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජේකොබ් ඩුවර් මහතා ඇතුළු කණ්ඩායමට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිය ප්‍රශංසාව පළ කරන අතර, හවුල් ව්‍යාපාර තවදුරටත් වර්ධනය කර ගැනීමේ දී සහ රටේ සාගර පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා ජාල ගොඩනැගීමේ දී, “ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වූ ගෝලීය සන්ධානය” සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

     

    විදේශ අමාත්‍යංශය,

    කොළඹ- 2021 අගෝස්තු 02 වැනි දින

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya