මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 302 ක් වියදමින් බෙලිඅත්ත, අම්පිටිය වැව සංවර්ධනයට

    ජූලි 10, 2021

    රුපියල් මිලියන 302 ක් වැය කර බෙලිඅත්ත, අම්පිටිය වැව සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, අම්පිටිය වැව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සංවර්ධනය කිරීමට පියවර ගැනේ. එම සංවර්ධන ව්‍යාපෘතියට රුපියල් මිලියන 302 ක් වැය කරමින් “අම්පිටිය වැව භූ දර්ශන ව්‍යාපෘතිය” නමින් සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    මහා භාණ්ඩාගාරය විසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට සැපයූ අරමුදල්වලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ අම්පිටිය වැව ආශ්‍රිතව සංවර්ධන ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් පසුගිය දා වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත අම්පිටිය වැව සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කෙරිණ.

    ඒ යටතේ මෙසේ සැලසුම් කළ ව්‍යාපෘති අතරින් කිලෝමීටරයක දුර ප්‍රමාණයෙන් යුත් ඇවිදින මංතීරුවක් පළමුව ඉදිකිරීම සඳහා පසුගිය දා වැඩ ආරම්භ කෙරිණ.

    එම ආරම්භක අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යාවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ගුවන් සේවා හා අපනයන කළාප රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගි වී සිටියහ.

    අංග 04 කින් සමන්විත වූ ව්‍යාපෘති සැලසුමේ ඉතිරි අංග 03 යෝජිත ව්‍යාපෘති ලෙස දක්වා තිබේ. ඒ යටතේ අවන්හල්, විවේකීව ගත කළ හැකි ස්ථාන, වාහන 15 ක් ගාල් කළ හැකි රථගාලක් ඉදිකිරීමට නියමිතයි.

    එයට අමතරව බෙලිඅත්ත දුම්රිය ස්ථානය සහ වැව සම්බන්ධ බිම් කඩ පුළුල් කර උද්‍යානයක් ලෙසින් සකස් කිරීම ද එම යෝජනාවේම දක්වා තිබේ. දිගුකාලීන ඉතිහාසයකට හිමිකම් කියන බෙලිඅත්ත අම්පිටිය වැව, ආරම්භයේ සිට මේ දක්වා වැවට කිසිඳු රක්ෂිතයක් රහිතව තවමත් පවතියි. වැවට අනාරක්ෂිත වන එම තත්ත්වය,  අගමැතිතුමාගේ මෙම සංවර්ධන ක්‍රියාදාමය තුළින් ඉවත්වී වැව් රක්ෂිතයක් වැවට හිමිකරදීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි. තවද, ස්වභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත්ව තිබෙන වැව සංවර්ධනය වීම තුළින් වැව වටා ආදායම් මාර්ග රැසක් බිහිවීම ද සිදුවෙයි.

    ඒ යටතේ කෘෂිකාර්මික දියුණුව, සුළු ව්‍යාපාර අවස්ථා ඇතිවීම, සංචාරකයන්ගේ පැමිණීම වැනි කරුණු හේතුවෙන් සමාජයේ සීඝ්‍ර දියුණුවක් ඇතිවෙයි. මෙහි අනෙක් ඍජු ප්‍රතිඵලය ලෙස ආශ්‍රිත ඉඩම්වල අගය ඉහළ යාමද සිදුවෙයි.

    ලබන වසරේ මුල් භාගයේදී මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කිරීමට නියමිත බෙලිඅත්ත අම්පිටිය භූ දර්ශන ව්‍යාපෘතිය ඇතුළත් භූමිභාගය අයත්වනුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටයි. එහි අනුමැතිය යටතේ මෙම සංවර්ධන කටයුතු සිදුකෙරෙන අතර, වැඩ ඇරඹූ දිනයේ මෙම ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ද ලක්විය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් මෙම ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන් විසින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya