මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව, අවුරුදු 14 සිට 16 දක්වා ඉහළට

    ජූනි 13, 2021

    ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව, අවුරුදු 14 සිට 16 දක්වා ඉහළට

    (ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දින පිණිවුඩය)

    සෑම වසරකම ජූනි මස 12 වනදාට යෙදෙන “ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙම “ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” සැමරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියද සෑම වසරකම විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. නමුත් මෙම වසරේදී, ශ්‍රි ලංකාව පුරා මේ වනවිට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින Covid - 19 වසංගතය හේතුවෙන් සහ පනවා ඇති සංචරණ සීමා හේතුවෙන්, පෙර වසරවල මෙන් විශේෂිත වූ ජාතික වැඩසටහනක් පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.

    ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් මෙම වසර ඉතා සුවිශේෂී වසරක් ලෙස හැඳින්විය හැකිය. එයට හේතුව වන්නේ, 2021 වසරේ ජනවාරි මස 18 වන දින, ළමා ශ්‍රමිකත්වය පිළබඳව ඉතා විශේෂ වූ පනතක් සම්මත කර ගැනීමට හැකි වීමයි. කලින් පැවති, 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවිම පිළිබඳ පනතට අනුව, වයස අවුරුදු 14 දක්වා ළමයින්ට රැකියාවල යෙදීම තහනම් කර තිබුණි. නමුත්, මෙම නව පනත මගින් එම තත්වය වෙනස් කර, එම වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නංවන ලදි. ළමයින් රුකියාවන්හී යොදවා ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීමේ මෙම නෛතික ක්‍රියාවලියට පදනම් වූයේ 2016 වසරේදී අධ්‍යාපන පනත යටතේ, අමාත්‍යවරයා සාදන අනිවාර්ය අධ්‍යාපනය පිළිබඳ රෙගුලාසි යටතේ අනිවාර්ය අධ්‍යාපනය ලැබීමේ වයස අවුරුදු 16 දක්වා දීර්ඝ කිරීමයි.

    වයස අවුරුදු 16ත් 18ත් අතර ළමයින්ගේ ජිවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට, සදාවාර වර්ධනයට අනතුරුදායි නොවන රැකියාවන්හී පමණක් ළමයින් යෙදවිය හැකි අතර, මෙම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්හි නිරත කළ නොහැකිය. ළමයින් සිඟමනේ යොදවන දෙමාපියන්ට හා තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය ප්‍රකාරව වසර 5ක බන්ධනාගාර ගත කිරීමකින් දඩුවම් කළ හැකිය. දරුවන්ව වීදි වෙළදාමේ යෙදවිම, ඔවුන් ලවා සර්කස් ඇතුළු විනෝද ක්‍රීඩා සිදුකොට මුදල් ඉපයීම, ළමයින් ලවා මත්ද්‍රව්‍ය හා මත්පැන් විකිණිම, ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම ආදිය අපරාධ නීතිය යටතේ වරදකි. එමෙන්ම, සයිබර් තාක්ෂණය ඔස්සේ ළමයින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් එයද අපරාධ නීතිය යටතේ වරදකි.

    එවැනි සිදුවීමක් අනාවරණය උවහොත්, ළමයින් සේවයේ යොදවන සේවායෝජකයන්ට විරුද්ධව විමර්ශන කටයුතු සිදු කිරිම, එම කටයුතු නියාමනය, ළමයින් සේවයේ යෙදවීම්වලට විරුද්ධව නීතිමය පියවර

    ගැනීමට එම පැමිණිලි කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිම යනාදී නෛතික ක්‍රියාවන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලැබේ. එබැවින්, ඔබ ජීවත් වන ප්‍රදේශයේ, ඔබේ නිවස අවට හෝ ඕනෑම ස්ථානයක, වයස අවුරුදු 16ට අඩු ළමයෙකු ශ්‍රමිකයෙකු ලෙස යොදා ගන්නා බව හෝ අවුරුදු 16ත් 18ත් අතර ළමයින් අනතුරුදායී හා අනාරක්ෂිත රැකියාවන්හී යෝදවන බව ඔබට දැක ගන්නට ලබෙන්නේ නම් සහ එවැනි සිදුවීමක් පිළිබඳව යම් තොරතුරක් ඔබ දන්නේ නම්, ඒ පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට හෝ 1929 ළමා ආරක්ෂක යෙදවුමට (1929 Child Protection app ) දැනුම් දෙන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටීයි.

    මහාචාර්ය මුදිත විදානපතිරණ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya