අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක පණිවිඩය- රටට අහිමිවූයේ වියත්, ධර්මධර, ශික්ෂාකාමි මහා පඩිරුවනකි

    මාර්තු 25, 2021

    ගල්කිස්ස, ධර්මපාලාරාමාධිපති, හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය, ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන ශෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මවාස මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන්, මම බලවත් සේ සංවේගයට පත්විමි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුගොඩ ග්‍රාමයට අයත් සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් යුත් ප්‍රභූ පවුලක බාලයා ලෙස 1933 ජනවාරි මස 26 වන දින මෙළොව එළිය දුටු මේ පිංවත් කුමරාණෝ සම්බුදු සසුනට ඇති ඇල්ම නිසාම උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත්වූ හ.

    රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන හා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන යන විද්‍යස්ථාන වලින් භික්ෂුවකට අවශ්‍ය සිංහල, පාලි, සංස්කෘත වැනි භාෂාවන් ප්‍රගුණ කළ උන්වහන්සේ, 20 වන විය සම්පූර්ණ වන විටම උපසම්පදා භූමියට පත්වූ හ.

    සම්බුද්ධ දේශනාවට අනුව භික්ෂුවක තුළ තිබිය යුතු ව්‍යක්ත බව, විනීතබව , විශාරද බව හා ධම්මානු ධම්ම පටිපන්න බව නායක ස්වාමීන් වහන්සේ තුළ නිරන්තරයෙන් විද්‍යාමාන විය.

    අසන දකින ගිහි පැවිදි සැමදෙනා තුළම චිත්ත ප්‍රසාදය ඇති කිරීමට සමත්වූ නායක ස්වාමීන්වහන්සේ, කර්ණ රසායන මිහිරි හඬකින්, නොනැවතී ගලා එන වාග්මාලාවකින් හා, මුල මැද අග ගලපන තමන්ටම ආවේනික වූ ශෛලියකින්, සැමගේ පහන් සංවේගය ඇතිවන පරිදි ධර්මදේශනා සිදුකළහ.

    නායක ස්වාමීන්වහන්සේ විදේශ රටවල් විශාල ප්‍රමාණයක ධර්ම චාරිකාවේ යෙදුනු අතර, එහිදී පවත්වන ලද ධර්මදේශනාවන් පිළිබඳ පැහැදුනු එරට සැදැහැවත්හු බුරුමයේ ශ්‍රී ලංකාරාමයත්, නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමති විහාරයත් උන්වහන්සේට පූජා කළහ.

    ධර්මදේශනා කිරීමෙන් නොනැවතුන උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ රාශියක් නිර්මාණය කළහ. ඒවා අතර, කොසොල් රජුගේ සිහින, කේතුමති රාජධානිය හා ධම්මොහවේ රක්ඛති ධම්ම චාරි යන ග්‍රන්ථ සැමගේ ප්‍රසාදයට පත්වූහ.

    වර්තමාන භික්ෂුවකගේ කාර්ය භාර්ය මැනවින් ඉටුකළ නායක ස්වාමීන් වහන්සේ මුලු මහත් සඟ පරපුරටම ආදර්ශ සම්පන්න සුපේෂල ශික්ෂාකාමි ගුණගරුක මහ යතිවරයෙක් වූහ.

    දොළොස් දහසක් පමණ භික්ෂූන් වහන්සේලාට හා තුන්දහසක් පමණ විහාරස්ථාන ඇති සමස්ත අමරපුර මහනිකායටම නායකත්වය සැපයු උන්වහන්සේ, ස්වනිකායේ අධිකරණනායක, සම ලේඛකාධිකාරි, මහා ලේඛකාධිකාරි, සම සභාපති, සභාපති, මහනායක පදවි වැනි තනතුරු රාශියක් හෙබවූහ.

    අපවත් වී වදාළ අතිගෞරවාර්හ දවුල්දෙන ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේගෙන් පසුව අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක පදවිය ලැබීමට පුණ්‍යවන්ත වූ උන්වහන්සේ, තමන්ට ලැබුණු තනතුරු වලින් කිසිදිනක උඩගු වුයේ නැත. සැමවිටම ප්‍රකාශ කළේ “ මා කටයුතු කළේ භික්ෂුවක ලෙසින් මිස කාගේවත් තනතුරු හා ප්‍රසංශා ලබා ගැනීමට නොවන බවයි.”

    මෙම නිහතමානි ගුණය හා විද්වත් බව නිසාම බුරුම රජය උන්වහන්සේ ට අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමීමට කටයුතු කළහ.

    රටට අහිමිවූයේ වියත්, ධර්මධර, ශික්ෂාකාමි මහා පඩිරුවනකි. උන්වහන්සේගේ අපවත්වීමෙන් සිදුවූ පාඩුව කලකට පිරිමැසිය නොහැකිය.

    මාගේ පෞද්ගලික ජීවිතයේ දී මෙන්ම දේශපාලන ගමන්මගේ දී ද කළ්‍යාණ මිත්‍රයෙකු හා ගුරුවරයෙකු ලෙස ලබාදුන් විවිධ අවවාද අනුශාසනා හා, ආශිර්වාද උන්වහන්සේට ගෞරවයක් පිණිස, මෙම සංවේග ජනක අවස්ථාවේදී සිහිපත් කිරීමට කැමැත්තෙමි.

    සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය.
    මෙය ලොව්තුරු බුදුවදන වේ.

    වසර 88 ක් ආයුවළදා ලෝසසුන් වැඩදායි උදාර මෙහෙවරක් සිදුකළ, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මවාස නායක ස්වාමීන් වහන්සේට පැතු යම් බෝධියකින් උතුම් නිවන්සුව අත්වේවා’ යි ප්‍රාර්ථනා කරමි.

    එසේම සමස්ත අමරපුර මහනිකායේ වැඩබලන උත්තරීතර මහනායක අතිගෞරවාර්හ ගන්තුනේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු භික්ෂු මහා සංඝයාවහන්සේටත්, ශිෂ්‍ය පිරිසටත්, විහාරස්ථ දායක සභාවටත්, සියලු ඥාතීන් හා ප්‍රදේශවාසි සැමටත් මාගේ බලවත් සංවේගය මෙයින් පිරිනමමි.

     


    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya