මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු ස්පුට්නික් එන්නත සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණා- එන්නත නුදුරේදීම අප රටට ලැබීමට නියමිතයි - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග.

    මාර්තු 10, 2021

    රුසියානු ස්පුට්නික් එන්නත සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සදුදා දින ලද අතර එම එන්නත නුදුරේදීම අප රටට ලැබීමට නියමිත බවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවේය.

    ලලඉත් වීරතුංග මහතා මේ බව පැවසුවේ අද දින (10) ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සදහා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම මාධ්‍ය හමුවේ විශේෂත්වය වනුයේ සමාජ මාධ්‍ය තුළ මාධ්‍ය හැසිරවීමේ යෙදෙන මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රවත් ජනගත කිරීම සදහා ඉහළ විශ්වාසයක් තබමින් ජනමාධ්‍ය අමාත්‍යංශය සමග එකතුවී රටතුළ සිදුවන සංවර්ධන සහ රාජ්‍ය මැදිහත්වීම තුළින් ජනගත වන සියලු කටයුතු සහ කාරණාවන් පිළිබදව ජනතාව දැනුවත්කිරීමේ ව්‍යාපෘතියෙහි පළමු වැඩසටහන මෙයයි.

    මෙම අවස්ථාවේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා විසින් වෙන රටවල එන්නත් නිපදවීම සදහා පර්යේෂණ සිදුකරන අවදියේ සිටම අප රටට නිෂ්පාදනයෙන් පසු එන්නත ලබාගැනීම සදහා ක්‍රියාකළ ආකාරය පිළිබද කෙටි පැහැදිලිකිරීමක් සිදුකළ අතර 2020 දෙසැම්බර් 28 වන දින එන්නත ලබාගැනීම සදහා විශේෂ කාර්යය සාධක බලකායක් පිහිටවූ බවද 2021 ජනවාරි 28 වැනි කෙටි කාලයක් තුළ අප රටට පළමු එන්නත් තොගය ලබාගැනීමට සමත් වූ බවත් පසුවදා සිටම (29) අප රටෙහි එන්නත්කරණය ඇරඹි බවද පැහැදිලි කළේය.

    ප්‍රථමයෙන් අප රටට ලැබුණු ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂ්ල්ඩ් ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා එන්නත මාත්‍රා ලක්ෂ 05ක ප්‍රධානයක් වශයෙන් ලැබුණු බව සිහිපත් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ එම එන්නතේ මාත්‍රා මිලියන 1.5ක් ඇණවුම් කර ඇති අතර මුලින් එන්නත් ලක්ෂ 05කට මුදල් ගෙවා ඉතිරි ලක්ෂ පහද ලද පසු ඉතිරි මුදල ගෙවීමට නිෂ්පාදන සමාගම එකග වී ඇති බවයි. ඒ අනූව ඉදිරි සති දෙක තුළ දෙවන එන්නත් ලක්ෂ 05 අප රටට ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ලලිත් වීරතුංග මහතා පැවසුවේය.

    ජනාධිපතිතුමා පුටිං ජනපතිට ලිපි මගින් ස්පුට්නික් එන්නත ඉල්ලීම් කර ඇති බවද ඒ අනූව ඉදිරියේදී රුසියාවෙන් ස්පුට්නික් එන්නත ප්‍රථමයෙන් ප්‍රධානයක් වශයෙන් අප රටට ලැබෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    කොවැක්ස් පහසුකම යටතේ පසුගිය ඉරිදා මෙරටට ලැබුණු එන්නත් 264,000 මෙම සති අන්තයේදී කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල රෝගය වැඩියෙන් පැතිරුණු ප්‍රදේශ වල 60ට වැඩි අයට ලබාදෙනවා.. - සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ.

    කොවැක්ස් පහසුකම යටතේ පසුගිය ඉරිදා මෙරටට ලැබුණු එන්නත් 264,000 මෙම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දින වල කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල රෝගය වැඩියෙන් පැතිරුණු ප්‍රදේශ වල 60ට වැඩි අයට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේය.

    පළමු එන්නත් තොගය අප රටට අප්‍රේල් මුල ලැබෙන බවට දන්වා තිබුණද ඊට ප්‍රථම ලබාගැනීමට හැකි වීම අප ලද භාග්‍යයක් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ ඉන්පසු ප්‍රමුඛතාවය සලකමින් මේ දක්වා එන්නත්කරණය සිදුකරන බවයි. සෞඛ්‍ය අංශයේ 155,000 ක පිරිසකට එනම් 0.67% ක් සදහා ප්‍රථමයෙන්ද ඉන්පසු ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සදහා 127,000ක පිරිසකට 0.56% ප්‍රතිශතයකටද ලබාදුන් බව සිහිපත් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සති හතරකින් දෙවන මාත්‍රාව ලබාදිය යුතු යැයි පැවසූ නිසා ප්‍රථමයෙන් ලද එන්නත් ලක්ෂ 05න් අඩක් ලබාදී ඉතිරි 250000 ප්‍රමාණය දෙවන මාත්‍රාව සදහා වෙන් කළද පසුව නවතම දත්ත අනූව දෙවන මාත්‍රාව ලබාදීමට සුදුසුම සහ ප්‍රතිඵල වැඩිම කාලය සති 10 -–12 අතර යැයි අනාවරණය වීම සහ ඉක්මණින් තවත් එන්නත් තොගයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නිසා ඉතිරි 250000 ක ප්‍රමාණයද අවුරුදු 30 – 60 වයස් වල අයට ලබාදුන් බවයි.

    ලෝකයේ ප්‍රමුඛතා ලයිස්තුව අනූව තෙවනුව සිටින්නේ අවුරුදු 60ට වැඩි පිරිස් වුවද ලංකාවේ 60ට වැඩි අයගෙන් රෝගය සෑදී ඇත්තේ 9.1%ක් වැනි සුළු පිරිසකටය. අප රටේ 60ට වැඩි පිරිස් වල මියයන ප්‍රවණතාවය වැඩි වුවද රෝගය වැළදීමේ සහ රෝගය අන්අයට ව්‍යාප්ත කිරීමේ ප්‍රවණතාව වැඩි වයස් කාණ්ඩය වනුයේ සමාජයේ නිරන්තරයෙන් ගැවසෙන රටේ ආර්ථිකයට සෘජුවම දායක වන වයස අවුරුදු 30 – 60 අතර කණ්ඩායමයි. මේ පිළිබදව සලකා බලා ඊළග ප්‍රමුඛතාවය එම කණ්ඩායමට ලබාදීම සිදුකළ බවද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.

    එම කණ්ඩායම් අතරද කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල රෝගය වැඩි වශයෙන් පැතිරගිය ප්‍රදේශ හදුනාගනිමින් එම ප්‍රදේශ වල පුද්ගලයන් සදහා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදුන් බවද ඔහු පැවසුවේය. මේ වන විට 743000කට පමණ පළමු මාත්‍රාව එන්නත්කරණය සිදුකර අවසන් බවද එය එන්නත් ලබාදිය යුත් ජනගහණයෙන් 4% කට වැඩි ප්‍රතිශතයක් බවද ඔහු පැවසුවේය.

    60ට වැඩි වැඩිහිටි ජනගහණයට සති අන්තයේ එන්නත ලබාදීමට කටයුතු කරන්නේ සති අන්තයේ දරුවන් නිවෙස් වල සිටීම හේතුවෙන් දෙමාපියන් රැකබලාගැනීමේ සහ එන්නත්කරණයට රැගෙනඒමේ පහසුව සලකමින් බව පැවසූ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ අදාල ප්‍රදේශ වල එන්නත්කරණය සදහා පැමිණීමට ප්‍රවාහන පහසුකම් නොමැති වැඩිහිටියන් සදහා රජය විසින් නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට නියමිත බවයි.

    තවමත් එන්නත ලබාදෙනුයේ රාජ්‍ය අංශය මගින් පමණක් බවත් එන්නත පුද්ගලික අංශයට ලබාදීමට තවමත් තීරණය කර නොමැති බවත් අලුතෙන් ලැබීමට නියමිත ස්පුට්නික් එන්නත ලැබුණු පසු එය මෙතෙක් කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් පරිබාහිරව වෙනත් දිස්ත්‍රික්කයකින් එන්නත්කරණය ඇරඹීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    මේ දක්වා එන්නතෙහි මාරාන්තික අතුරු ආබාධ කිසිවක් වාර්තා වී නැහැ.. සමස්ථයක් ලෙස ගත් කළ මෙය ඉතාම ආරක්ෂිත එන්නතක්. - වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ.

    මේ දක්වා එන්නතෙහි මාරාන්තික අතුරු ආබාධ කිසිවක් වාර්තා වී නොමැති බවද සමස්ථයක් ලෙස ගත් කළ මෙය ඉතාම ආරක්ෂිත එන්නතක් බවද වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේය.

    ඕනෑම එන්නතකින් අතුරු ආබාධ ඇතිවිය හැකි යැයිද මෙම එන්නත ලබාදීමට පෙර පර්යේෂණ රාශියක් සිදුකර ඇතැයිද සෑම පර්යේෂණයකින්ම තහවුරු වී ඇත්තේ මාරාන්තිකගණයේ අතුරු ආබාධ මෙම එන්නතෙන් නොලැබෙන බව යැයිද වෛද්‍යවරයා කියා සිටියේය.

    එමෙන්ම මෙතෙක් අප රට තුළ සිදුකළ එන්නත්කරණය තුළදීද ආසාත්මිකතා කිහිපයක් හැරුණුකොට කිසිදු බරපතල ගණයේ සිදුවීමක් වාර්තා නොවුණු බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. එන්නත ලබාගැනීමෙන් පසු උණ, ඇගපත වේදනාව, ආහාර අරුචිය වැනි සුළු අතුරු ආබාධ බහුලවම ඇතිවන්නේ එන්නත ශරීරයේ ප්‍රතික්‍රියා දැක්වීම නිසා බවද ඔහු පැවසුවේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya