අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

    දෙසැම්බර් 23, 2020

    ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනේ 2020 වර්ෂය සඳහා සුදුසුකම් ලැබූ ජනමාධ්‍යවේදීන් සඳහා සංකේතාත්මකව ශිෂ්‍යත්ව පිරිනැමීම ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ ප්‍රධානත්වයෙන් (22 අඟහරුවාදා) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.

    වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

     

    මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඇසිදිසි ශිෂ්‍යත්ව ලබන සියලුදෙනා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින සහ ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කරන මාධ්‍යවේදීන් වන බවයි. ‘‘ඔබ සියලුදෙනා තමන්ගේ වෘත්තීය මට්ටම තවදුරටත් ඉදිරියට ගෙනයන්නට බලාපොරොත්තු වෙමින් දැනටමත් එය සාර්ථක කරගත් කණ්ඩායමක්. මේ ශිෂ්‍යත්ව වැඩසටහන මාධ්‍යවේදීන් වන ඔබගේ වෘත්තීය තත්වය නඟාසිටුවීම සඳහා සුවිශේෂී අවස්ථාවක්. වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීම මඟින් ඔබගේ දැනුම වර්ධනය කරගෙන කාලයෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට කටයුතු කිරීම ජනමාධ්‍යවේදීන් වන ඔබ සතු වගකීමක් යැයි“ එහිදී අමාත්‍යවරයා පැවැසීය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ සෞභාග්‍යයේ ඉදිරිදැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ බද්ධ වෙමින් මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ වගකීම ඉටුකිරීමට අමාත්‍යංශය බැඳී සිටින බවයි. මෙම කටයුතුවලදී සහයෝගයෙන් හා කැපවීමෙන් කටයුතු කරන අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු කාර්යමණ්ඩලයට ද, අමාත්‍යවරයා මෙහිදී ස්තුතිය පළකළේය.

     

    මෙවර ශිෂ්‍යත්වයට අයදුම්කළ ජනමාධ්‍යවේදීන් අතරින් සියලු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් 85 දෙනෙක් සඳහා ශිෂ්‍යත්වය ලබාදීම සිදුකෙරෙනු ඇත.

     

    දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18-55 ත් අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ඇති මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.

     

    උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබාදේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව පාඨමාලා හැදෑරිය හැක.

     

    කිසිදු මුදලක් අය නොකර නොමිලේ ලබාදෙන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් මාධ්‍යවේදීන්ට දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා වසර 5 ක් ඉක්ම ගිය පසු මුල් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ජනමාධ්‍යවේදීන්ට දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

     

    ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50% ක් පාඨමාලාව ආරම්භයේදී පළවෙනි වාරිකය ලෙසත්, ඉතිරි 50% න් 25% ක් පාඨමාලාවේ දෙවෙනි වාරිකය ලෙසත්, ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදු කරයි.

     

    මෙ අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, අතිරේක ලේකම් (පාලන) රුවන් සත්කුමාර මහතා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, ප්‍රධාන ගණකාධිකාරි එස්.ඒ.එන්.ආර්. සුබසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya