අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්

    නොවැම්බර් 13, 2020

    දැනට පවතින කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව පවතින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදයක් ඔස්සේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක‍්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත මහතා විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරන ලදී.

     

    දැනට ක‍්‍රියාත්මක වන ”ගුරුගෙදර” සහ ”ඊ-තක්සලාව” වැඩසටහන් වලට අමතරව 3 වන පාසල් වාරයට අදාල ප‍්‍රධාන විෂයන් ආවරණය කිරීමේ අරමුණින් මෙම නව වැඩසටහන් මාලාව ජාතික රූපවාහිනියේ අයි නාලිකාව සහ නේත‍්‍රා නාලිකාව ඔස්සේ දැනට දිනකට පැය 16 ක කාලයක් විකාශය කිරීම ආරම්භ කරන ලද අතර ඉදිරියේදී අවශ්‍යතාව අනුව මෙම කාලය දීර්ඝ කිරීමට හා ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සම්බන්ධ කර ගනිමින් ගුවන්විදුලිය ඔස්සේද විකාශය කිරීමට කටයුතු කරන බව අමත්‍යවරයා පැවසීය. මෙහිදී මුළු දිවයිනම ආවරණය වන පරදි හා සියලූම දරුවන්ට සහභාගී වීමට හැකි වන පරදි මාධ්‍ය කිහිපයක් ඔස්සේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට හා අවශ්‍යතා හදුනාගනිමින් මුද්‍රිත පාඩම් මාලාවක් ලෙසද දරුවන් අතට පත් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

     

    මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ ප‍්‍රධාන පාසල් වල විදුහල්පතිවරුන්ගේ සහයෝගය ඇතිව ප‍්‍රවීන ආචාර්ය වරුන් 200 ක ගේ දායකත්වය ලබා ගනිමින් හා දෙමළ මාධ්‍ය සඳහා යාපනය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පාසල් වල ආචාර්ය වරුන් සහභාගී කරගනිමින් ශබ්ධාගාර 6 ක් තුල පටිගත කිරීම් සිදුකරමින් නොවැම්බර් මස 16 වන දින පෙ.ව. 4.00 සිට සිට සතියේ දින 7 තුලදීම විකාශනය වන අතර තව දුරටත් පටිගත කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවද, පාසල් නැවත ආරම්භ වුවද මෙම වැඩසටහන නොනවත්වා පවත්වාගෙන යාමට කටයුතු කරන බවද අමත්‍යවරයා පවසන ලදී.
    පාසල් වල 3 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ ප‍්‍රධාන විෂයන් හා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා 4 ක් සහ ජනවාරි මස පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන විශේෂ පුනරීක්ෂණ පාඩම් මාලාවක්ද මෙම වැඩසටහන ඔස්සේ ආවරණය කිරීම අමාත්‍යාංශයේ අරමුණයි. මෙම වැඩසටහනට ඉදිරියේදී ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් වැනි ආයතන සම්බන්ධ කරගෙන තව දුරටත් ව්‍යාප්ත කිරීමට හා ජාතික අධ්‍යාපන ආයතනය මගින් යූටියුබ් නාලිකාවක් ඔස්සේද දරුවන්ට සමීප කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව අමාත්‍ය තුමාගේ අදහස් දැක්වීමේදී අනාවරණය විය.
    මේ සම්බන්ධව දරුවන්ට ඇති ගැටළු සාකච්ඡා කිරීමට අදාල ගුරුවරුන් සම්බන්ධ කර ගැනීමට 1377 විශේෂ දුරකථන අංකයක් ලබා දී ඇති අතර 0117601702, 071449131 යන දුරකථ අංක ඔස්සේද මේ සම්බන්ධව විමසීම් කළ හැක. මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා කැපවූ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමාට, අමාත්‍යංශ ලේකම්වරුන්ට ජාතික අධ්‍යාපන ආයතනයට, විෂය අධ්‍යක්ෂකවරුන්ට විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අමාත්‍යතුමාගේ විශේෂ ස්තුතිය හිමිවිය. මෙම අවස්ථාවට අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නවරත්න යන මහත්වරුන්ද සහභාගී විය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya