මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔබේ සහයෝගය අපි උපරිම වශයෙන් බලාපොරොත්තු වෙනවා - සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි

    ඔක්තෝබර් 04, 2020

    දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට සම්බන්ධ තත්වයන් පිළිබඳව  සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශය.

    දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට සම්බන්ධ තත්වයන් පිළිබඳවඅද දින (04 ) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිනිය සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් විසින් අදහස් දක්වන ලදී.

    එහිදී,  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශය පහත පරිදි වේ.


    විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාවට අප කියන්නට අවශ්‍යයි ඔබ කොවිඩ් රෝගය මර්දනය කරන්නට පසුගිය කාලයේදී ලබාදුන් සහයෝගය නැවත අප වෙත ලබාදෙන්න කියා. සමාජය තුළින් අද දින රෝගියෙකු මතු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම රෝගය ලංකාව තුළින් මර්දනය කරන්නට අතිගරු ජනාධිතුමා ගත් ක්‍රියාමාර්ගයත් ඒ වගේම ජනතාව ලබා දුන් සහයෝගයත් නිසා තමයි අපට මේ රෝගය මර්දනය කරගන්නට පුළුවන් වුණේ. නැවත අපට රෝගියකු හමුවෙලා තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, අප ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු, විශේෂයෙන්ම මීටරයක දුරක් සහිතව තමන්ගේ කටයුතු සිදු කර ගැනීම, මුඛ ආවරණ පැළඳීම, කිවිසුමකදී බාහිරට පැතිරෙන්නට නොදී අතේ ඇතුළ් පැත්තෙන් ආවරණය කරගැනීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු මේ රටේ ජනතාව ඉටු කළ එම පුරුදු වලට වහාම නැවත යන්නටය කියලා ඉල්ලා සිටිනවා.

    ඔබේ සහයෝගය අවශ්‍යයි රට මෙයින් මුදා ගන්නට, මෙවැනි තත්වයක් රටේ ඇතිවෙනවිට. තවම එක් රෝගියායි වාර්තා වී තිබෙන්නේ නමුත් එය මර්දනය කරගැනීම සඳහා ඔබේ සහයෝගය අපි උපරිම වශයෙන් බලාපොරොත්තු වෙනවා. ලෝකයේ අනෙක් රටවලට වඩා ශ්‍රී ලාංකීය ජනතාව, සෞඛ්‍ය අංශ දුන් උපදෙස් පිළිපැද්දා. එය අපට විශේෂ සහයෝගයක් වුණා ඒ තත්වයෙන් රට මුදා ගන්න. ඒ වගේම ඔබ දන්නවා ලෝකයේ අද දශලක්ෂයක් පමණ රෝගීන් මිය ගොස් තිබෙනවා මෙම බෙහෙත් නැති රෝගයෙන්. මෙය හුස්ම ගැනීමෙන් පවා බෝ වන්නට පුළුවන් රෝගයක්.

     

    ඉතාම කිට්ටුවෙන් දෙදෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කළහොත්. තෙරපුම් සහිත තැන්වල ඉන්න එපා කියා අප කියන්නේ ඒ නිසයි. සංගීත සංදර්ශන, ප්‍රිය සම්භාෂන වැනි දේවල්. මේවා නැවත අපි මේ රටේ යම් කිසි කාලයකට නැවැත්විය යුතුයි. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශන සෑම අංශයකටම සෑම වෘත්තියකටම 56ක් නිකුත් කර තිබෙනවා. ඒ ඒ ආයතන, අංශ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න. සියලුම අංශ එම මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතු වෙනවා. එම මාර්ගෝපදේශන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. සියලුම අංශ කුමන ආකාරයකටද ක්‍රියාත්මක විය යුත්තේ කියා. ඉතාම තදින් සෞඛ්‍ය අංශ මගින් නැවත පරීක්ෂණයකට ලක් කෙරෙනවා, මෙම සෞඛ්‍ය  අංශ කියා ඇති ආකාරයටද තම තමන්ගේ වෘත්තීන තම තමන්ගේ ආයතන කටයුතු කරන්නේ කියා.

    ඒ වගේම ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා යම්කිසි උණක් හෝ යම්කිසි රෝග ලක්ෂණයක් තමන්ට තිබේ නම් වහාම එම ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන රෝහලට ඔබ ඇතුළත් වෙන්න. මොකද මේ රෝගියා අපට සොයා ගන්න පුළුවන් වුණේ අපි ප්‍රධාන රෝහල් වලට උපදෙස් දී තිබෙනවා සෑම දවසකම දහ දෙනෙක්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය නියැදි ගන්න කියලා.

     

    ඒ නිසා සෑම ප්‍රධාන රෝහලකම මෙවැනි රෝග ලක්ෂණ, යම්කිසි ලෙසකින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සෑදී ආවත් අවම වශයෙන් ලංකාවේ තිබෙන ප්‍රධාන රෝහලකම අවම වශයෙන් දහදෙනෙක්ගේ PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගන්නවා. ඒ අනුව ලබා ගත් නියැදියක අහම්බෙන් තමයි අපට එම නියැදිය වාර්තා වන විට එම රෝගියාට PCR පරීක්ෂණය සිදු කළ විට ඒ රෝගය තිබෙන බව තහවුරු වුණේ. ඒ වගේම එය අප නැවත තුන් තැනකින් පරීක්ෂා කරලා තමයි මේ තැනැත්තියට කොවිඩ් 19 රෝගය තිබෙන බව තහවුරු කරගන්නට හැකි වුණේ.

    ඉතින් ඒ නිසා තමන්ට යම්කිසි රෝග ලක්ෂණයක් තිබෙනවා නම් වහාම ළඟ තිබෙන රෝහලට ඇතුළත් වෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඉතාම තදින් අප නැවත මේ රටේ කොවිඩ් 19 රෝගය මර්දනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා. ඒ සඳහා ජනතාවගේ සහයෝගය ලබාදෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya