මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් - 19 අභියෝග හමුවේ පාසල් අරඹන්නැයි දරුවන් කළ ඉල්ලීම අපි ඉටු කළා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    සැප්තැම්බර් 30, 2020

    කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට අපට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (30) දින පැවසීය.

    කොළඹ හින්දු විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින් ගරු අග්‍රමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය. 

    හින්දු විද්‍යාලයේ 2019 වසරේ අධ්‍යාපන හා විෂය සමඟdමී කටයුතුවල දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට මෙහිදී අග්‍රාමාත්‍යතුමා අතින් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරිණි.  2019-හින්දු විද්‍යාලීය සඟරාව සහ සමරු තිළිණයක් විදුහල්පති ටී.පී.පරමේෂ්වර්ම් මහතා විසින් අග්‍රාමාත්‍යතුමාට මෙහිදී පිළිගැන්වීය.


    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍යාග ප්‍රදානෝත්සවය අමතා මෙසේ ද කීය,


    මෙම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයට මට ආරාධනා කිරීම පිළිබඳව මම සතුටු වෙනවා. දෙමළ භාෂාවෙන් ඉගැන්වීම් කරන මෙම ජාතික පාසල රටට වැඩදායී යහපත් පුරවැසියන් බිහිකර තිබෙනවා. ඔවුන් අතර විශිෂ්ට අධ්‍යාපනඥයින් පවා සිටිනවා. මේ දරුවෝ හෙට රට භාර ගන්න අයයි. ඒ කියන්නේ රටේ අනාගත නායකයින්.


    පිරිමි ළමයින් වෙනුවෙන් 1951 වසරේදී ආරම්භ කළ මෙම විද්‍යාලය දෙමළ හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම උගන්වන පාසලක්. සිසුන්ට නිවැරදි මඟ පෙන්වීම පාසලක මූලික කාර්යභාරයක්. එක් පාසලක් විවෘත කරන විට බන්ධනාගාර දහස් ගණනක් වැසෙනවා කියලා කතාවකුත් අප අතර තිබෙනවා.


    දරුවන් යහමඟට යොමු කර ඔවුන්ගේ අනාගතය නිසි මඟට ගැනීමේ විශාල වගකීමක් හා බැඳීමක් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට තිබෙනවා.
    අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීම වගේම ළමයින් විනය ගරුක පුද්ගලයින් බවට පත්කිරීමත් පාසලේ වගකීමක්. මෙම විද්‍යාලය දරුවන්ගේ අධ්‍යාපනය වගේම විනය කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වන බව මම දන්නවා.


    හොඳ අධ්‍යාපනයක් සහිත සිසුන් බිහිකිරීම හරහා රටේ ආර්ථිකය දියුණු කිරීමටත්, සමෘද්ධිමත් ජීවන පරිසරයක් නිර්මාණය කිරීමටත්, රට සමෘද්ධිමත් කිරීමටත්, ජනතාවගේ ආකල්ප සකස් කිරීමත් පාසලෙන් සිදුවන සුවිශාල මෙහෙයක්. රටක් වෙනස් කිරීමට හැකි වන්නේ අධ්‍යාපනය මඟිනුයි.


    අධ්‍යාපනය කියන්නේ කිසිවෙකුට විනාශ කළ නොහැකි හා කාටවත් උදුරා ගත නොහැකි ධනයක්. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන සෑම ආයතනයක්ම කරන්නේ රට වෙනුවෙන් හොඳ පුරවැසියන් බිහිකිරීමයි. කොළඹ හින්දු විද්‍යාලයෙන් දරුවන්ට ලැබෙන්නෙත් ඒ වගේ විධිමත් අධ්‍යාපනයක්.


    තිස් වසරක් අපිව පීඩාවට පත්කළ යුද්ධය අවසන් කරලා සාමය උදාකළාට පසුව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාමට අපේ රජයන් කටයුතු කළා. උතුරු නැගෙනහිර පළාත්වලට උතුරු වසන්තය, නැගෙනහිර උදාව වගේ ව්‍යාපෘති රාශියක් අපි ක්‍රියාත්මක කළා. අද ජනතාව අපව නැවත බලයට ගෙනැවිත් තිබෙනවා. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා.


    අධ්‍යාපන කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීම සහ අපේ රටේ අධ්‍යාපන සංවර්ධනය ඊළඟ මට්ටමට ගෙන යාම අපේ ඉලක්කයක්. අද කොවිඩ් - 19 ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ජනතාවගේ සහයෝගයෙන් මේ අර්බුදය පාලනය කරගන්න අපිට හැකියාව ලැබුණා. මේ ගැටලු කිසිම අවස්ථාවක ඔබේ අධ්‍යාපනයට බලපෑමක් කර ගන්න එපා. කොරෝනා තත්ත්වය නිසා පාසල් නිවාඩු දී තිබුණු කාලයේ නව තාක්ෂණය ඔස්සේ දරුවන්ගේ හඩට කන් දෙන්න මට හැකියාව ලැබුණා. ඒ අවස්ථාවේදී දරුවන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් පාසල් කටයුතු ආරම්භ කරන ලෙසයි. මේ වෙද්දි සාර්ථකව තත්ත්වය පාලනය කරලා පාසල් කටයුතු ආරම්භ කරන්න අපිට හැකියාව ලැබුණා. පාසල් ආරම්භ කරන්න කළින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කළා.
    අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවලටත් මේ දරුවෝ යොමු වෙන්න ඕනේ. ඔබ වගේම උතුරු නැගෙනහිර, කඳුරට ප්‍රදේශවල දරුවොත් ඉගෙනීම් කටයුතුවලට ඉතා උද්යෝගයෙන් සම්බන්ධ වෙනවා.
    අනාගතයේ රට භාර ගන්න නායකයන් විදියට ඔබ මේ රට සමෘද්ධිමත් කිරීමට අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි.
    ඒ වගේම මේ විද්‍යාලය අනෙකුත් පාසල්වලට ආදර්ශ පාසලක් විය යුතුයි.
    මාගේ ආදරණීය දරුවනි,
    ඔබ අප රටේ අනාගත නායකයින් ය.
    අද ඔබ සියලූ දෙනා හමුවීම සතුටක්
    ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාව සඳහා හින්දු පුජක කුරුක්කල් බාබු ෂර්මා පූජකතුමා, අචාර්ය එස්.සන්දීර් පූජකතුමා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, හින්දු විදුහලේ විදුහල්පති ටී.පී.පරමේෂ්වර්ම් මහත්වරු, ගුරුභවතුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya