මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර සංචාරක දින පණිවිඩය- කොවිඩ්-19 තත්ත්වයට ද මුහුණ දෙමින් සංචාරක කර්මාන්තයේ අභියෝග ජය ගැනීමට අපි රටක් ලෙස පෙළ ගැසෙමු

    සැප්තැම්බර් 27, 2020

     

    ජාත්‍යන්තර සංචාරක දින පණිවිඩය- කොවිඩ්-19 තත්ත්වයට ද මුහුණ දෙමින් සංචාරක කර්මාන්තයේ අභියෝග ජය ගැනීමට අපි රටක් ලෙස පෙළ ගැසෙමු

    සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමන් මඟ නව මාවතක් ඔස්සේ යොමුව ඇති යුගයක, ජාත්‍යන්තර සංචාරක දිනයට සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව ප්‍රථමයෙන් මම සතුටට පත්වෙමි.

    සංචාරක කර්මාන්තයේ වැදගත්කම ලොවට විදහා දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය ප්‍රථමවරට ලෝක සංචාරක දිනය පවත්වන ලද්දේ 1980 දීය. එතැන් සිට අද දක්වා සෑම වසරකම සැප්තැම්බර් 27 වන දින ලෝක සංචාරක දිනය සමරනු ලබයි.

    ලෝක ප්‍රජාව තුළ සංචාරක ව්‍යාපාරයේ භූමිකාව පිළිබඳව දැනුවත් කිරීම සහ ලෝකය පුරා සමාජ, සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික වටිනාකම්වලට සංචාරක කර්මාන්තයේ බලපෑම නිරූපණය කිරීමේ අරමුණින් සමරන ජාත්‍යන්තර සංචාරක දිනය පෞඩ ඉතිහාසයකට හා සංස්කෘතියකට උරුමකම් කියන අප වැනි රටකට කදිම අවස්ථාවන් නිර්මාණය කරයි.

    අතීතයේ පටන්ම විදේශීය ආකර්ශනය නොමදව දිනාගත් දිවයිනක් වන ශ්‍රී ලංකාවේ පවතින ස්වාභාවික පිහිටීම, යහපත් දේශගුණික තත්ත්වය, ආධ්‍යාත්මික සුවය හා සරල ජීවිතය, ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය, විවේකය, ඓතිහාසික වටිනාකම මෙන්ම ස්වභාව සෞන්දර්යේ පවතින අපූර්වත්වය සුවහසක් ලෝකවාසී සංචාරකයින් ශ්‍රී ලංකාවට ඇදී ඒමට ප්‍රමුඛතම සාධකයකි.

    ස්වභාව සෞන්දර්ය මෙන්ම ආගන්තුක සත්කාරයෙන් අනූන රටක් ලෙස අපට ලොව හමුවේ ඇත්තේ සාඩම්බර අභිමානයකි.

    වත්මන් ලෝකය දෙස බලන විට ලෝක ආර්ථිකයට සෘජු බලපෑමක් සංචාරක කර්මාන්තය මඟින් එල්ල වන බව පැහැදිලිය. මෙය ශ්‍රී ලංකාවට ද පොදු වූ කරුණකි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සංචාරක කර්මාන්තයට සිදු වූ බලපෑම අතිමහත්ය. එම තත්ත්වය තේරුම් ගනිමින් සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රවර්ධනයන් තුළින් රටේ ආර්ථිකය කෙරෙහි සංචාරක කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීමට අප රජයක් ලෙස කටයුතු සැලසුම් කර ඇති බව මෙවර සංචාරක දිනයේදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

    කොවිඩ්-19 තත්ත්වයට ද මුහුණ දෙමින් සංචාරක කර්මාන්තයේ අභියෝග ජය ගැනීමට අපි රටක් ලෙස පෙළ ගැසෙමු.

     

    මහින්ද රාජපක්ෂ

    ශ්‍රී  ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya