මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චක්‍ර ලේඛ වලට මුවා වී සංවර්ධන කටයුතු වලට බාධා කිරීම් තවදුරටත් සිදු නොවිය යුතුයි - ඇමති ප්‍රසන්න රණතුංග

    සැප්තැම්බර් 04, 2020

    චක්‍ර ලේඛ වලට මුවා වී සංවර්ධන කටයුතු වලට බාධා කිරීම් තවදුරටත් සිදු නොවිය යුතු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් නිළධාරීන් මූල්‍ය හා පරිපාලන චක්‍ර ලේඛන පෙන්වමින් ජනතා අවශ්‍යතාවක් ඉටු කිරීම ප්‍රමාද කරන බවයි.

    මහින්ද රාජපක්ෂ රජය යටතේ වැඩබිමක් ව පැවති රට පසුගිය යහපාලන ආණ්ඩුව මුඩු බිමක් බවට පත් කළ බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා දේශපාලනඥයින් හා රජයේ නිළධාරීන් සංවර්ධන කටයුතු වල දී දෙපසට ඇද්දොත් රට ගමන් කරන්නේ ඉදිරියට නොව පසුපසට බව කියා සිටියේය.

    ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් වූ සහන් ප්‍රදීප් මන්ත්‍රිවරයා වැඩ භාරගැනීමේ නිමිත්තෙන් පැවති උත්සවයට සහභාගීවෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම උත්සවය පැවැත්විණි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “සංවර්ධන කටයුතු සිදු විය යුත්තේ ජනතාවගේ අවශ්‍යතාවයන් නිසි පරිදි හදුනාගෙනයි. ජනතා ඉල්ලීම අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අපි ප්‍රායෝගික විය යුතුයි. පොතපතට සීමා වෙලා රටක් සංවර්ධනය කරන්න බෑ. මහජන නියෝජිතයන් හා නිළධාරින් එක්ව කටයුතු කළොත් මේ රට සංවර්ධනය කරන එක පහසුයි. දෙපැත්තට ඇද්දොත් රට යන්නේ ආපස්සට. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දේශපාලකයන් හා රාජ්‍ය නිළධාරින් එක්ව ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමේ වගකීම තමයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැවරිලා තියෙන්නේ.

    මේවා පොත් පත්වලට සීමා කරන්න එපා. පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි වලට මුවාවෙලා සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදකරන්න තවදුරටත් ඉඩ නෑ. සමහර නිළධාරින් තීන්දු ගන්න බයයි. චක්‍ර ලේඛන තියෙන්නේ වැඩ නොකර ඉන්න නෙමෙයි. විධිමත් ලෙස වැඩ කරන්න. දූෂණ නොවෙන්න. හැබැයි අද සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. වැඩ කරන්න ඇතැම් චක්‍ර ලේඛණ බාධාවක් වෙලා. අපි ඔබව ආරක්ෂා කරනවා. හරි දේ හරි විදිහට කරන්න. චක්‍ර ලේඛන පිට දාලා වැඩ නොකර ඉන්න හදන්න එපා. වැඩ කරන්න. වැඩ කරන කෙනාට චක්‍ර ලේඛන බාධාවක් නම් ඒ ගැන තීන්දු ගන්න වේවි.

    ජනාධිපතිතුමා අනවශ්‍ය චක්‍ර ලේඛන ඉවත් කරලා ජනතාවට වැඩ කරන්න පුළුවන් විදිහට නව චක්‍ර ලේඛන නිකුත් කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේ ඒ නිසායි.

    අද උදේ මට දුරකථන ඇමතුමක් එනවා මිනුවන්ගොඩ තරුණයෙක්ගේ මරණයක් ගැන. වෝටර්බෝඩ් එකෙන් කපපු වළකට වැස්ස වෙලාවේ වැටිලා තමයි මේ තරුණයා මිය ගිහින් තියෙන්නේ. ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දි පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වෙන්න. හැමතැනම සේෆ්ටි ෆස්ට් කියලා බෝඩ් ගැහුවට වැඩක් නෑ. ඒවා ක්‍රියාත්මක නෑ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. දැන් කාණු වැහිලා කාණු කපන්නේ නෑ. පාරවල් උඩින් වතුර ගියාම ඒවා අලුත්වැඩියා කරන්න යන වියදම වැඩියි. ආයතන මට්ටමින් මේවා දිහා බලන්න. ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් හමුවෙලා ඒ ප්‍රදේශවල ජල ගැලීම් පාලනය කරන්න අවශ්‍ය පියවර ගන්න. පොඩි වතුරකටත් නගර යට වුණාම මිනිස්සු බනින්නේ ආන්ඩුවට.

    අද පොඩි වැස්සක් වැස්සත් නගර යට වෙන්නේ පහුගිය ආණ්ඩුව මේ නඩත්තු කටයුතු අතහැර දැමූ නිසායි. කඩිනමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇළවේලි, කාණු පද්ධති සුද්ධ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න.

    වැඩබිමක් බවට පත් ව තිබු රට 2015 යහපාලන ආණ්ඩුව කාලේ මුඩුබිමක් බවට පත්වුණා. අද මම මිරිස්වත්තෙන් එනකොට පාරට වතුර දාලා. මිනුවන්ගොඩත් තැන් කීපයක් යට වෙලා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේ ඇළවේලි, කාණු ශුද්ධ පවිත්‍ර කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. පහුගිය ආණ්ඩුව ඒක අතැරලා දැම්මා.”
    ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සහන් ප්‍රදීප් විතාන, දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya