මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය අඩු කිරිම සොයා බැලීමට අධිකරණ ඇමති උපදෙසින් කමිටුවක්- සති තුනක් තුළ අතුරු වාර්තාවක් ලබා දෙන්නැයි උපදෙස්

    සැප්තැම්බර් 04, 2020

    මත් ද්‍රව්‍ය වලට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසදුම් පිළිබදව සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ උපදෙස් අනුව කම්ටුවක් පත් කර තිබේ.

    අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පිරීස් මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කමිටුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වෙයි.

    අධිකරණ අමාත්‍යාංශයේ නීති උපදේශකවරුන් මෙම කමිටුවේ උපදේශකවරුන් ලෙස කටයුතු කරයි.

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිව බන්ධනාගාරගතව සිටින රිමාන්ඩ් සිරකරුවන් හේතුවෙන් ඇතිව තිබෙන තදබදය අඩු කිරිම සම්බන්ධයෙන් ( 03) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.

    මත් ද්‍රව්‍යවලට සම්බන්ධව බන්ධනාගාරගතව සිටින රිමාන්ඩ් සිරකරුවන් සංඛ්‍යාව මේ වන විට විශාල වශයෙන් වැඩිව ඇති බැවින් අධිකරණ නියෝග ලබා ගෙන ඔවුන් පුනරුත්ථාපනය කිරීම පිළිබදව සාකච්ඡාවේදී ප්‍රධාන අවධානය යොමු විය.

    මත් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඇප ලබා නොදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබදව නීතිමය තත්වය පිළිබදව සොයා බලා සති තුනක් තුළ අතුරු වාර්තාවක් ලබා දෙන ලෙස එම කමිටුවට අධිකරණ අමාත්‍යවරයා උපදෙස් ලබා දුනි.

    මත් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඇප ලබා නොදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබදව දැනට පවතින හා ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව නිර්දේශ ලබාදීම එම කමිටුවට පැවරී තිබේ.

    අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබදව පුර්ණ වාර්තාවක් මාස තුනක් තුළ ලබා දෙන ලෙසත් මත් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින සිරකරුවන්ගේ තදබදය අවම කිරීම පිළිබදව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ද වාර්තාවක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී.

    මෙම සිරකරුවන් සම්බන්ධයෙන් වන රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමක් පවතින්නේ නම් කඩිනමින් ලබා ගත යුතු වාර්තා පිළිබද තොරතුරු එම දෙපාර්තමේන්තුවට දැනුම් දී එම වාර්තා ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා දැන්වීය.

    මෙම සාකච්ඡාව සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ බන්ධනාගාර හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්න රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ගීතාමනී කරුණාරත්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya