මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හය ලක්ෂයක්වන සියලුම රාජ්‍ය විශ්‍රාමිකයනට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානයට කැබිනට් අනුමැතිය ...

    ජූලි 22, 2020

    රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණවන සියලුම විශ්‍රාමිකයනට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අද (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබිණ.

    මින් පෙර අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වූයේ 2016 ජනවාරි 01 දිනට පසු විශ්‍රාම ගිය රජයේ සේවකයනට පමණි. එසේ ප්‍රතිලාභ ලැබූ පිරිස සමස්ත විශ්‍රාමිකයන්ගෙන් 10% ක් පමණ විය. නමුත් 2016 ජනවාරි 01 දිනට පෙර විශ්‍රාම ගිය හයලක්ෂයක් පමණ දෙනාට අග්‍රහාර රක්ෂණයට දායකවීමේ අවස්ථාවක් මෙතෙක් ලැබී නොතිබි‍ණි. එබැවින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි විශ්‍රාමිකයින් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේදී විෂමතාවක් නිර්මාණය වී ඇතැයි අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී නිරීක්ෂණය කෙරිණ. එමනිසා මෙම විෂමතාව ඉවත් කොට 2016 ජනවාරි 01 වැනි දිනට පෙර විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයන්ට ද ප්‍රතිලාභ අත්වන අයුරින් රක්ෂණ ක්‍රමය පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය අද තීරණය කළේය.

    අග්‍රහාර රක්ෂණ ක්‍රමය තවත් පුළුල් කරමින් සියලුම විශ්‍රාමිකයනට වඩා උසස් ජීවන මට්ටමක් භුක්ති විඳීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී ඇත.

    ඒ අනුව රජයේ සේවකයනට සහ සියලු විශ්‍රාමිකයනට ගුණාත්මක අගයෙන් යුත් ඉහළ සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි වන පරිදි විශේෂ වූ සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීමට ද රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රජයේ ප්‍රමුඛ රෝහල්වල රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහාම සුවිශේෂ වන වාට්ටු ස්ථාපනය කෙරේ. ප්‍රතිකාර සඳහා එවැනි වාට්ටුවලට ඇතුළත් වන රජයේ සේවකයනට හා විශ්‍රාමිකයනට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමය තවදුරටත් පුළුල් කිරීමට ද යෝජනා විය.

    තවද‍, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සලකා බැලූ අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා තවදුරටත් පවතින බවට ද පෙන්වා දෙන ලදී. එහිදී බොහෝ විශ්‍රාමිකයන්ගේ මාසික විශ්‍රාම වැටුප තවමත් රුපියල් 20,000ට අඩු අගයක් ගන්නා බවට කරුණු අනාවරණය විය. මේ විෂමතාව වහාම ඉවත් කරනු පිණිස සුදුසු යෝජනා ඉතා ඉක්මණින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජාතික වැටුප් කොමිසමට දැනුම් දීමට ද රජය තීරණය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya