මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝවිඩ් 19 පරීක්ෂණාගාර සදහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතන සේවා සැපයීමට ලංකා ප්‍රතීතන මණ්ඩලය සූදානම් - අමාත්‍ය බන්දුල ගුණවර්ධන.

    ජූනි 11, 2020

    කෝවිඩ් 19 පරීක්ෂණාගාර සදහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතන සේවා සැපයීමට ලංකා ප්‍රතීතන මණ්ඩලය සූදානම් බව  උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ලදී.

     අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, (09) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ජගත් ප්‍රතීතන දිනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සභාව අමතමිනි.

    2020 ලෝක ප්‍රතීතන දිනය  ජූනි 09 වෙනිදාට යෙදී ඇත. මෙවර ප්‍රතීතන දිනයේ තේමාව ප්‍රතීතනය ආහාර ආරක්ෂණය වැඩිදියුණු කිරීම යන්නයි. උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය යටතේ ඇති අනුකූලතා තක්සේරු කිරීම පිළිබද ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් ලෝක ප්‍රතීතන සැමරුම් උත්සවය සංවිධානය කොට තිබුණි.

    එම උත්සවයේදී අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ආහාර ආරක්ෂණය ගැන කතා කරන විට එය ගොවිපල සිට ආහාර අනුභවය දක්වා ආහාර නිෂ්පාදනය, සැකසීම සහ ඇසුරුම් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, තොග සහ සිල්ලර වෙළදාම් සම්බන්ධ සැපයුම් දාමය පිළිබද අවධානය යොදුකිරීම් අත්‍යවශ්‍ය වන බවයි.

    අප සැම පරිභෝජනය කරන ආහාර ආරක්ෂිත බව සහතික කිරීම සදහා ආහාර සැපයුම් දාමයේ විවිධ අවස්ථා වලදී පරීක්ෂණ සහ සහතික කිරීම් සිදුකරනු ලබයි. එමෙන්ම විශේෂාංග, සංයුතිය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ ආහාර සැපයුම් දාලයට අදාල ක්‍රියාකාරකම් ප්‍රකාශ කරන බොහෝ දැන්වීම් දිනපතා විවිධ මාධ්‍ය ඔස්සේ අපට දැකගත හැකි වෙයි. එහෙත් නිෂ්පාදකයින්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්ගේ ලේබල් වල ප්‍රකාශිත දේවල් අප විශ්වාස කරන්නේ කෙසේද? ආහාර වල ගුණාත්මක භාවය සහ ආරක්ෂාව සහතික කිරීම සදහා පරීක්ෂා කිරීම, සහතික කිරීම වැනි කාර්යයන් සදහා ප්‍රතීතන ලත් අනුකූලතා තක්සේරු කරන ජාලයක් තිබීම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂා කිරීම, සහතික කිරීම වැනි කාර්යයන් නිපුණතාවයක් සහිත ආයතන විසින් සිදුකල යුතුය. ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විවිධාකාර අනුකූලතා තක්සේරු කිරීමේ ආයතන අයි එස් ඕ (ISO), එස් එල් එස් (SLS) විසින් සකස් කරන ලද ප්‍රමිතීන්ට අනුකූලව තක්සේරු කර මෙම පර්යේෂණාගාර, පරීක්ෂණ ආයතන සහ සහතික කිරීමේ ආයතන වලට කාර්යක්ෂම හා අපක්ෂපාතී පරීක්ෂණ, සහතික කිරීම් ලබාදිය හැකිද යන්න ඇගයීමට ලක් කරයි.

    පරිභෝජනය කරන ආහාර වල ගුණාත්මක භාවය හා ආරක්ෂාව අපේක්ෂා කරන සමාජයක් අප විසින් නිර්මාණය කළ යුතුය යන අදහසට සියලු දෙනා තමා සමග එකග වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. එබැවින් ප්‍රතීතනය තුළින් ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සදහා ආහාර සුරක්ෂිතතාව සහ පහසුකම් සැපයීම සදහා කටයුතු කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් වන අතර විශේෂයෙන් රටක් වශයෙන් යහපත් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබද (SDG) තුන්වන තිරසාර සංවර්ධන ඉලක්කය සපුරාගැනීමට එය දායක වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    ජාතියක් වශයෙන් අප කෝවිඩ් 19 වසංගතය හා එහි ප්‍රතිවිපාක වලට සාර්ථකව ප්‍රතිචාර දක්වා ඇති බව සිහිකරමින් එතුමන් වැඩිදුරටත් කියා සිටියේ දේශීයව නිපදවන ආහාර පාන (සිලෝන් තේ, ක්‍රළු බඩු) සහ ඒ ආශ්‍රිත සේවාවන් වෙනත් රට වලට අපනයනය කිරීම සහ විවිධ භාණ්ඩ හා සේවා ආනයනය කරන රටක් ලෙස මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සංධිස්ථානයක් වන බවයි. වෙනත් රටවල් සමග වෙළදාම් කිරීමේදී අපගේ රෙගුලාසි සදහා අනුකූලතා තක්සේරු කිරීම සහ ප්‍රතීතන ක්‍රියා පටිපාටි අනුගමනය කරන අතරම අප ජාත්‍යන්තර වෙළද ගිවිසුම් වලට අනුකූල විය යුතුය. ප්‍රමිති, ප්‍රතීතන සහ අනුකූලතා තක්සේරු කිරීම යනු ආහාර සුරක්ෂිතතාව, පාරිසරික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, වංචා වැළැක්වීම, සාධාරණ වෙළදපළ සහ මහජන විශ්වාසය පිළිබද වඩා හොද නියාමනයක් ලබාදීම සදහා රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට
    භාවිතා කළ හැකි වෙළදපල පදනම් කරගත් මෙවලම් වේ.

    ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම සදහා වෛද්‍ය අත්වැසුම් සහ අනෙකුත් පුද්ගල ආරක්ෂක උපාංග (PPE) සදහා ප්‍රතීතන ලත් පරීක්ෂණ සේවා සැපයීම සදහා ප්‍රතීතන මණ්ඩලය විසින් මූලික පියවර ගෙන ඇති අතර කර්මාන්ත සහ අපනයනකරුවන්ට පහසුකම් සැලසීම සදහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය ගෙන ඇති පියවර පිළිබදවද සතුටට පත්විය හැක. රාජ්‍ය ප්‍රතිපත්ති අරමුණු ඉටුකර ගැනීමේ හා තාක්ෂණික තීරණ ගැනීමේ මාධ්‍යයක් ලෙස රාජ්‍ය අංශය ප්‍රතීතන ලත් අනුකූලතා තක්සේරුව පිළිගත් අවස්ථා ලොව පුරා ඇති බව අපට පෙනී යයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය බලධාරීන් කෝවිඩ් 19 අවසාන වන දිනයක් පවසා නැතත් වර්තමාන ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යමින් අනාගතයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නම් අඛණ්ඩ අධීක්ෂණය සහ සෝදිසි කිරීම හොදම විසදුමයි. මේ
    සදහා අපට ලංකාවේ විශ්වාසනීය හා විශ්වාසදායක පීසීආර් පරීක්ෂණ රසායනාගාර ජාලයක් අවශ්‍ය වෙයි.

    කෝවිඩ් 19 පරීක්ෂණාගාර සදහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතන සේවා සැපයීමට ලංකා ප්‍රතීතන මණ්ඩලය සූදානම් බව ප්‍රකාශකිරීමට ලැබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වශයෙන් තමා සතුටට පත්වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කරයි.එමෙන්ම SLAB ප්‍රතීතනය ලත් රසායනාගාර විසින් නිකුත් කරන ලද වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලොව පුරා පිළිගැනේ. නිපැයුම් හා සේවාවන් අනිවාර්යයෙන්ම අගය එකතු කිරීම සදහා ජාත්‍යන්තර වෙළදපොළ අවශ්‍යතාවයන්ට අනුකූල වීම අවශ්‍ය වන අතර එය සහතික කළ හැක්කේ ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණ සහ සහතික කිරීම් තුළින් පමණි. එබැවින් ලංකාවෙන් අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා ප්‍රතීතන අවශ්‍යතා සදහා පහසුකම් සැලසීම සදහා SLAB වැඩි වැඩියෙන් සම්බන්ධ විය යුතුය. SLAB හා සසදන විට ජාත්‍යන්තර ප්‍රතීතන සේවාවන්හි පිරිවැය වැඩිය.

    එබැවින් රටතුළ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රදවා ගැනීමට උපකාරී වන SLAB ප්‍රතීතන ලත් රසායනාගාර වලින් පරීක්ෂණ වාර්තා ලබාගන්නා ලෙස අමාත්‍යවරයා අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියි. මෙහිදී උත්සවය අතරතුර පොත් පිංචක් එළිදැක්වීමක්ද සිදුවිය.

    මෙම උත්සව අවස්ථාව සදහා ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි මැතිතුමන්, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති ආචාර්ය සම්පත් වාසල මහතා, ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගී විය. උත්සවය අවසානයේ එහි ප්‍රධාන අංගය වශයෙන් ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනයේ විශේෂාංග රැසකින් සමන්විත නව වෙබ් අඩවිය www.slab.lk නමින් එළිදැක්වීමද සිදුකරන ලදී.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya