මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මී උණ රෝග තත්ත්වය පිළිබද වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළවිශේෂ මාධ්‍ය නිවේදනය

    ජූනි 02, 2020

     මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් මහජනතාව මී උණ රෝගය පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් “අවධානමට පෙර අවධානය” යනුවෙන් මාධ්‍ය නිවේදනයක් සකස් කොට ඇත.

     

    එම මාධ්‍ය නිවේදනය පහතින් වන අතර, එම මාධ්‍ය නිවේදනය ඔබ මාධ්‍ය ආයතනය තුලින් පළ කොට ජනතාව දැනුවත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් ඉල්ලමි.

    අවධානමට පෙර අවධානය!

    යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී තිබීමත් රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමට ඇති නැඹුරුවත් නිසා මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවධානමක් පවතී. එමෙන්ම මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය රෝගය තවදුරටත් ව්‍යාප්තවිමට හේතු වන බැවින් ජනතාව මී උණ රෝගය කෙරෙහි අවධානයෙන් සිටිම ඉතා වැදගත් වේ.

    මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් සෑදෙන රෝගයකි. මීයන්, ඌරු මීයන්, මීගවයන්, ගවයන් වැනි සතුන්ට මෙම බැක්ටීරියා ආසාදනය ඇති විය හැකි අතර, එම සතුන්ගේ වකුගඩු ආශ්‍රිතව ජීවත් වන එම බැක්ටීරියාව මූත්‍රා සමග පරිසරයට නිදහස් වෙයි. කුඹුරු, දියකඩිති, දිය අගල් සහ ඔිවිටි වැනි ජලය රැදෙන ස්ථානවල මෙම බැක්ටීරියාව සජීවීව බහුල වශයෙන් රැදී තිබේ. ජලයේ රැදී සිටින බැක්ටීරියාව ශරීරයේ කැපුම්, සිරීම් තුවාල සහ ඇස්, කට වැනි සියුම් ශ්ලේෂ්මල පටල ඇති ස්ථානවල ගැටීමෙන් පුද්ගලයින්ගේ ශරීර තුලට ඇතුළු වෙයි.

    මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ හදිසියේ ඇතිවන තද උණ හා මස්පිඩුවල විශේෂයෙන්ම බත්කෙණ්ඩ හා කොන්දේ තදබල වේදනාවයි. මෙයට අමතරව ඇස් රතුපැහැ වීම, වමනය, හිසරදය, මූත්‍රා තද පැහැයක් ගැනීම හා මුත්‍රා පිටවිම අඩුවීම වැනි රෝග ලක්ෂණ ද විය හැක.

    කුඹුරු වගාවන් හා ඒ ආශ්‍රිත වෙනත් වගාවන් සිදු කරන ගොවීන් මෙම රෝගය ගැන දැනුවත් වන ලෙසත්, මීයන් බෝවීම පාලනය කිරිමට යොදාගන්නා පාරම්පරික හා නවීන ක්‍රම මගින් කුඹුරු ආශ්‍රිත මී ගහනය පාලනය කර ගැනිමට කටයුතු කරන ලෙසත්, රෝගකාරක බැක්ටීරියාවරැදී තිබීමට ඉඩ ඇති ජලය එක් රැස්වන ස්ථාන අවම කිරිමටත්, බැක්ටීරියාව ශරීර ගත විය හැකි සීරීම්, කැපුම් තුවාල, වතුරට ඔරොත්තු දෙන සැරහුවමකින් ආවරණය කිරීමටත් වගබලා ගැනීම මගින් රෝගය ඇතිවීම වළක්වා ගත හැක.

    එමෙන්ම මී උණ බහුලව පවතින ප්‍රදේශවල කුඹුරු ගොවිතැන්වල නිරත අවධානම් කාණ්ඩ සදහා ලබාදෙන ඖෂධය ලගම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගැනීමෙන් මෙම රෝගය ඇතිවීම වළක්වා ගත හැක. මෙම ඖෂධය ලබාගත යුත්තේ සතියකට එක්වරක් පමණි.

    මෙම රෝගය වැළදුන විට රෝගයේ මුල් අවධියේ දී ප්‍රතිජීවක ඖෂධ මගින් ඉතා සාර්ථකව සුව කළ හැක. එබැවින් ඉහත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා රජයේ රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමටත්, ඔබ ඉහත ස්ථාන ආශ්‍රිතව ක්‍රියාකාරකම්වල යෙදුන බව වෛද්‍යවරයාට දැන්වීමටත් වගබලා ගත යුතුය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාදවීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති වී අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට පත්විය හැක.

    ඔබ පුරන් කුඹුරක ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් මෙම රෝගය වැළදීමට වැඩි අවදානමක් ඇති බව සිහි තබා ගන්න. මේ සදහා ඔබට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා හමුවන්න.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya