අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් 11 හා 12 දෙදින තුළ එලවළු කිලෝග්‍රෑම් ලක්ෂ 09 කට අධික ප්‍රමාණයක් මිලදී ගනී

    අප්‍රේල් 13, 2020

    ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කළ එළවළු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල මගින් අප්‍රේල් 11 හා 12 දෙදින තුළ එලවළු කිලෝග්‍රෑම් ලක්ෂ 09 කට අධික ප්‍රමාණයක් මිලදී ගනී.

    ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන ජාතික වැඩපිළිවෙල හා සමගාමීව රටේ සියලු අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහාද රජයේ දැඩි අවධානය යොමුව ඇත.


    ඒ අනුව, එළවළු හා පළතුරු මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ මැදිහත්වීමෙන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර, රට තුළ ක්‍රියාත්මක වන ඇඳිරිනීති තත්වය තුළ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලුවකට මුහුණ පා සිටින ගොවි ජනතාවට සහන සැලසීම හා සිංහල හා හින්දු අලුත් අවුරුදු සහ පාස්කු සමය තුළ එළවලු හා පළතුරු පාරිභෝගික ජනතාව වෙත බෙදා හැරීම මෙහි අරමුණයි.

    මෙම වැඩපිළිවෙල යටතේ අප්‍රේල් 11 හා 12 දෙදින තුළ එලවළු කිලෝග්‍රෑම් ලක්ෂ 09 කට අධික ප්‍රමාණයක් (904,010.00 ) රජය විසින් මිලදී ගෙන ඇත.
    මේ සඳහා අවශ්‍ය අරමුදල් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් වරුන් වෙත මේ වන විටත් නිකුත් කර ඇති අතර, ආර්ථික මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එලවළු මිලදී ගැනීම අප්‍රේල් 11 දින ආරම්භ කරන ලදී. එම එළවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු අප්‍රේල් 12 මධ්‍යම රාත්‍රී වන විටත් ක්‍රියාත්මකව තිබුණි.


    එළවළු මිලදී ගැනීම ආර්ථික මධ්‍යස්ථාන මට්ටමින් ගත්විට, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග අප්‍රියෙල් 11 වන දිනයේදීම මිලට ගෙන අවසන් කර ඇත. එමෙන්ම,එම තොග එදිනම රටපුරා බෙදා හරින ලදී.නුවරඑළියෙන් මිලදී ගත් සම්පූර්ණ එළවලු කිලෝග්‍රෑම් ප්‍රමාණය 3,17,396 ක් වන අතර, මෙම එළවළු තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 28,634,975.00 ක් වේ. (මිලියන 28.6)

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් සලකන විට,සෞඛ්‍යාරක්ෂක හේතු මත ලොරි රථ හා ජනතාව එක් ස්ථානයකට ඒකරාශී වීම වැළැක්වීමේ අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව, ප්‍රාදේශීය මධ්‍යස්ථාන කිහිපයකදී එළවළු මිලදී ගැනීම අප්‍රේල් 11දින ආරම්භ කරඅඛණ්ඩව ක්‍රියාත්මක වේ. මෙහිදී, රජය විසින් එළවළු සඳහා ගෙවන අධික මිල හේතුවෙන් ඉදිරියේදී නෙළා ගත හැකි අස්වැන්නද මේ වන විට වෙළඳපොලට ඉදිරිපත් කිරීමට ගොවි ජනතාව ඉදිරිපත් වනබව පෙනී ගොස් තිබේ. ඒ අනුව, දඹුල්ල ප්‍රදේශයේ එළවළු තොග විශාල වශයෙන් වෙළඳපොලට ඉදිරිපත් වීම මත ඒ හා සම්බන්ධ කිරුම් මිනුම්, බිල් පත් නිකුත් කිරීම්, ඇඳිරිනීති බලපත්‍ර, ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධීකරණය වැනි කාර්යයන් රැසක්ද ඉටු කිරීමට සිදු ව ඇත. මේ නිසා යම් කාලයක් මේ සඳහා ගතවන නමුත් අවසන් කිලෝග්‍රෑමය දක්වා මිලට ගැනීමට රජය කටයුතු කරයි.


    අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළවළු මිලදී ගැනීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා සිදු කෙරේ. ඒ අනුව, මෙම මිලදී ගැනීම් සඳහා දිස්ත්‍රික් ලේකම් වරයා වෙත අරමුදල් නිදහස් කර ඇත. දඹුල්ල හා තඹුත්තේගමදී අප්‍රේල් 12 වන විට මිලට ගත් සම්පූර්ණ තොග ප්‍රමාණය එළවළු කිලෝග්‍රෑම් 586,614 කි. ඒ අනුව, නුවරඑළිය, මාතලේ හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වරුන් ප්‍රධාන දිස්ත්‍රික් ලේකම් වරුන් විසින් මේ වන විට එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 09 කට අධික ප්‍රමාණයක් (904,010 kg)මිලදී ගෙන ප්‍රවාහනය කර ඇත.


    මේ ආකාරයෙන් රජය විසින් මිලදී ගන්නා සමස්ත එළවළු ප්‍රමාණය එම අවස්ථාවේදීම රටපුරා පළාත් පාලන ආයතන වෙත බෙදා හරින අතර එම ආයතන විසින් සාධාරණ මිලකට තම බලප්‍රදේශයේ අලෙවි කරයි.මේ අනුව පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව එළවළු හා පළතුරු සහන මිලකට ලබා ගැනීමට හැකි වී ඇති අතර සමහර ප්‍රදේශවල දානපතියන් ඉදිරිපත් වී රජයේ වියදම් පියවා ජනතාව වෙත නොමිලයේ එළවළු බෙදා හැරීමට කටයුතු කරන බව ද වාර්තා වේ.


    මෙහිදී, දිස්ත්‍රික් මට්ටමින් එළවළු සඳහා විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇත. උදාහරණයක් ලෙස කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක වලින් පමණක් නුවරඑළිය එළවළු සඳහා කිලෝග්‍රෑම් 161,000 ක ඇණවුම් ලැබී තිබේ. එම දිස්ත්‍රික්ක වලින් දඹුල්ල එළවළු සඳහා ලැබී ඇති ඇණවුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 168,000 කි. මෙම දිස්ත්‍රික්ක සඳහා නුවරඑළියෙන් එළවළු කිලෝග්‍රෑම් 161,881 ක්ද දඹුල්ලෙන් කිලෝග්‍රෑම් 158,508 ක්ද ප්‍රවාහනය කර තිබීමද විශේෂයකි.

    බොහෝ දිස්ත්‍රික්කවලින් මේ අයුරින් එළවළු සඳහා ඇණවුම් ලැබී අතර නුවරඑළිය එළවළු සඳහා මෙතෙක් ලැබුණු සමස්ත ඇණවුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 303, 000 ක්ද දඹුල්ල එළවළු සඳහා කිලෝග්‍රෑම් 994,000 ක් ද වේ.

    කෙසේවුවද, මෙම අවස්ථාවේදී තම අස්වැන්න මෙතෙක් අලෙවි කරගත නොහැකි වූ ගොවීන් ඇත්නම් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් මෙම අසීරු අවස්ථාවේ ජනතාව ආරක්ෂා කර ගැනීමට රජය උපරිමයෙන් කැප වී සිටින අතරම ඉදිරියේදීද ඒ අයුරින්ම රජය ගොවි ජනතාව රැක ගැනීමට කටයුතු කරන බව රජය දන්වා සිටී. ඒ අනුව, කිසි අයුරකින් ගොවීන්ගේ අස්වැන්න අලෙවි කරගත නොහැකි වීමට හෝ අපතේ යාමට ඉඩ තොතබන ලෙස රජය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් දී ඇත. රජය විසින් ක්‍රියාත්මක කළ මෙම එළවළු මිලදී ගැනීමේ වැඩපිළිවෙල තම අස්වැන්න අලෙවිකර ගැනීමට නොහැකි වනු ඇතැයි අවිනිශ්චිතව පසුවූ ගොවි ජනතාවට රජය ලබා දුන් ප්‍රතිලාභයක් මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක්ද වේ.

    නාලක කලුවැව
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya