මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කහවත්ත මූලික රෝහලට පස් මහල් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට රුපියල් මිලියන 500 ක්-නිවිතිගල ආසනයේ රෝහලට වෛද්‍ය උපකරණ

    ජනවාරි 20, 2020

    රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ආසනයේ රෝහල් සංවර්ධන අවශ්‍යතාවයන් සහ පහසුකම් සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවක් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවිතිගල ආසන සංවිධායක ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ආරාධනයෙන් (18) දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

    මෙහිදී නිවිතිගල ආසනයේ නිවිතිගල ප්‍රාදේශීය රෝහල, කහවත්ත මූලික රෝහල, ඇන්දාන ප්‍රාදේශිය රෝහල යන රෝහල් සෞඛ්‍ය අමාත්‍යතුමියගේ නිරික්ෂණයට ලක් විය. කහවත්ත මුලික රෝහලේ අවශ්‍යතාවයක් සොයා බලමින් වසර ගණනාවක සිට රෝහලට දැඩි අඩුපාඩුවක්ව පැවැති වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම සදහා රුපියල් මිලියන 500 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යතුමිය අතින් සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතාට ලබාදීම ද මෙහිදී සිදුවිය. පස් මහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකිරීමට නියමිත මෙම වාට්ටු සංකීර්ණය තුල ශල්‍යාගාර 02 ක් ද වන බව සදහන් කරන ලදි.

     

    නිවිතිගල රෝහල සහ කහවත්ත රෝහල සදහා හෘදය අකර්මණය වූ පුද්ගලයින් ප්‍රකෘති තත්ත්වයට ගෙනඒමේ ප්‍රතිකාර සදහා යොදා ගන්නා රුපියල් ලක්ෂ 12 ක පමණ වටිනා Defibrillator යන්ත්‍ර දෙකක් ද, නිවිතිගල රෝහල සදහා සහ ඇන්දාන ප්‍රාදේශීය රෝහල සදහා රුපියල් ලක්ෂ 08 ක් වටිනා මල්ටි මොනිටර් යන්ත්‍ර දෙකක් ද, ඇන්දාන සහ කහවත්ත රෝහල් සදහා රුපියල් 80,000 ක වටිනාකමකින් යුත් ECG යන්ත්‍ර දෙකක්, කහවත්ත රෝහලට ගර්භනී මව්වරුන්ගේ කුස තුල වන දරුවන්ගේ හෘද ස්පන්දනය පරීක්ෂා කෙරෙන රුපියල් ලක්ෂ 06 ක් වටිනා CTG යන්ත්‍රයක් ද පරිත්‍යාග කරන ලදි.

     

    මෙම නිරික්ෂණ චාරිකාවේ දී එක් එක් රෝහල්වල පවතින මානව හා භෞතික සම්පත්, ඖෂධ පිළිබද සහ රෝහල්වල වත්මන් තත්ත්වය පිළිබද රෝහල් ප්‍රධානීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර, සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් උපදෙස් දෙමින් ප්‍රකාශ කරන ලද්දේ රෝහල්වල හදිසි අවශ්‍යතා වෙතොත් පළාත් සභාවලට ලබාදිය හැකි නම් ලබාදෙන ලෙසටත් ඒසේ නොහැකිනම් ප්‍රධාන අමාත්‍යාංශය වෙත කඩිනමින් දැනුම් දෙන ලෙසත්, රෝගී ප්‍රතිකාර සේවාවන් කිසිදු විටෙක අඩපන නොවන අයුරින් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට කැපවන ලෙස රෝහල් බලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත උපදෙස් ලබාදෙන ලදි. ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාත්‍යතුමිය සිදු කරන ලද නිරික්ෂණ චාරිකාව පිළිබද සිය ප්‍රසාදය සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පිරිනැමීම ද විශේෂත්වයක් විය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා, පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya