රුසියානු තානාපතිවරයා එසේ සඳහන් කළේ පසුගියදා අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවී කරන ලද සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ රුසියානු තානාපතිවරයා මෙසේද පැවසීය.
"ශ්‍රි ලංකාවේ තේ අපනයනය හා රුසියාවෙන් ඇස්බැස්ටස් ආනයනය අතර සම්බන්ධතාවයක් නැහැ. නමුත් අපි ඇස්බැස්ටස් භාවිතය පිළිබඳව පුළුල්ව සිතා බැලිය යුතුයි. මේ ඇස්බැස්ටස් තහනම් කළ යුතුද? නැද්ද? යන්න ගැන පර්යේෂණාත්මකව සිතා බැලිය යුතු වෙනවා. ඇස්බැස්ටස් ගැන කතා කරන විට රුසියාවේ ක්‍රිසෝටයිල් (Chrysotile) නිෂ්පාදන ගැන අවධානය යොමු කළ හැකියි. එහි සේවය කරන සේවකයින් ගෙවී ගිය වසර 30 ක කාලය තුළ කිසිදු අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා නැහැ. ඒ වගේම කිසිම පිළිකා රෝගියෙකු වාර්තා වෙලා නැහැ. මේ පතල්වල අත්වැසුම් නොමැතිව වැඩ කරන සේවකයෝ බොහෝමයක් ඉන්නවා. ඔවුන්ට කිසිම අනතුරක් නැහැ. ලෝකයේ ඇස්බැස්ටස් ලබා ගන්නන් අතර ශ්‍රී ලංකාව පෙරමුණේ සිටිනවා. ඒ වගේම ඉන්දියාව, ඉන්දුනීසියාව හා චීනයක් සිටිනවා. රුසියාව හැම විටම ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා වැඩි දියුණු කර ගැනීමට කැමැත්තෙන් සිටිනවා. අපේ දෙරට අතර වාණිජ හා වෙළඳ ගණුදෙනු වැඩ වඩාත් පුළුල් කර ගැනීමට රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන ශ්‍රි ලංකා රුසියානු සහයෝගීතා කොමිසමට පැමිණෙන ලෙස ආරාධනා කරනවා." යැයි පැවසීය.
රුසියාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතාවලට දිගු ඉතිහාසයක් පවතී. රුසියාව සිය තේ අවශ්‍යතාවලින් සියයට 23 ක්ම (23%) ලබා ගන්නේ ශ්‍රී ලංකාවෙනි. එසේම රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ ලබා ගන්නා ප්‍රධානතම ගැණුම්කරුවෙකු ද වේ. 2017 මුල් මාස කිහිපයේදී පමණක් රුසියාවට අපනයනය කරන ලද තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 25 ක් වේ. ඒ සඳහා රුපියල් බිලියන 19 ක ආදායමක් උපයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සියලුම වර්ගයේ තේ මිලදී ගන්නා දෙවැනි ගැණුම්කරු වන්නේ ද රුසියාවයි.
රුසියාවෙන් ඇස්බැස්ටස් ආනයනය කරන ප්‍රධානතම රටවල් 04 න් එකක් වන්නේ ශ්‍රී ලංකාවයි. නමුත් මෑත වකවානුවේදී රුසියාවෙන් ආනයනය කරන ඇස්බැස්ටස් ප්‍රමාණය අඩු වෙමින් පවතී. මෙය 2014 දී ඇමරිකන් ඩොලර් මිලියන 33.87 ක් වූ අතර, එය 2015 දී ඇමරිකන් ඩොලර් මිලියන 27.92 ක් දක්වා ද, 2016 දී ඇමරිකන් ඩොලර් මිලියන 28.80 ක් දක්වා ද අඩු වී ගොස් 2017 ජනවාරි සිට අගෝස්තු දක්වා ඇමරිකන් ඩොලර් මිලියන 13.57 ක් දක්වා අඩු විය.
මෙහිදී අදහස් දක්වමින් කතා කළ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.
"රුසියාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිතුදම මෙන්ම ආර්ථික සබඳතාවද ශක්තිමත් බව කිව යුතුයි. අපගේ තේ අපනයනයේ ප්‍රධාන ගැණුම්කරුවා වන්නේ රුසියාවයි. කෘමියෙකු සිටියේ යැයි කියන තේ තොගය, ශ්‍රී ලංකා තේ අපනයන ඇසුරුම් තුළ තිබුණේ නැති බවට මට තොරතුරු ලැබී තියෙනවා. ඒ වගේම, තේ ප්‍රශ්නයට රුසියානු රජය විසින් කඩිනමින් විසඳුමක් ලබා දීම ගැන අප රටේ ප්‍රශංසාව හිමිකරනවා. රුසියාව හා ශ්‍රි ලංකාව අතර පවතින දිගු කාලීන මිතුදම වැඩි දියුණු කර ගැනීමටත්, අපගේ නිෂ්පාදකයන්ගේ තේ ඇතුළු අනෙකුත් විවිධ භාණ්ඩ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ලබා ගැනීමටත්, මොස්කව් හි පැවැත්වෙන ශ්‍රී ලංකා රුසියානු ආර්ථික සහයෝගීතා සමුළුව ඉතා වැදගත් වෙනවා. මේ නිසාම මගේ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙයට සහභාගී කරවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටේ වෙළඳ හා කර්මාන්ත සංවර්ධනයට රුසියාව දක්වන සහයෝගයට මගේ ප්‍රණාමය පුද කරනවා." යැයි පැවසීය.