මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේරියා රෝගය පාලනයෙන් රුපියල් මිලියන 650 ක ඉතිරියක්

    නොවැම්බර් 19, 2017

    මැලේරියා රෝගය පාලනය කිරීමෙන් 2008 සිට 2014 කාලය තුළ රුපියල් මිලියන 650 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    බිල් ගේට්ස් පදනම, කාටර් මධ්‍යස්ථානය සහ අබුඩාබ් ඔටුන්න හිමි කුමාරයා එක්ව සංවිධානය කරන ගෝලීය සෞඛ්‍ය සමුළුව අබුඩාබියේ ගෝලීය වෙළෙද මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එම සමුළුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය. “බෝවන රෝග තුරන් කිරිම සදහා සියලු දෙනා එක්වීම” යන තේමාවයි. මෙම සමුළුව සඳහා ලොව පුරා සෞඛ්‍ය නායකයින් 200 කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

    සැසිවාරය ආරම්භයේ දී ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කිරීම පිළිබඳ සැසිවාරයට එක්ව සිටි ලෝක සෞඛ්‍ය නායකයින් ඇගයීමට ලක්විය.
     
    “අපේ රටේ පරිසරය තුලින්ම මැලේරියාව ව්‍යාප්තවන පසුබිමක් තිබුනා. ආසියානු කළාපය තුළත් එම තත්ත්වය පැවැතුනා. පෘතුගීසි ලන්දේසි, බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ඔවුන් ද මෙම ගැටගුවට මුහුණ දුන්නා. එම රටවල සොල්දාදුවන් සියගණනක් මැලේරියාවෙන් මිය ගියා. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ පාලනය බාරගැනීමෙන් පසු මැලේරියා මර්දන වැඩසටහන් ආරම්භ කෙරුනා. අපේ රට නිදහස ලැබීමෙන් පසු පැවැති සියලු රජයන් මැලේරියා මර්දන වැඩපිළීවෙලට දේශපාලන නායකත්වය ලබාදුන්නා. අයවැය මගින් ද මුදල් වෙන් කළා. රට පුරා ආයතන ස්ථාපිත කළ ද 1935 දී මෙය වසංගත තත්ත්වයක් බවට පත්වුනා. එම කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 82 ක් මැලේරියාවෙන් මිය ගියා. පසුකාලීනය දේශපාලන නායකත්වය ද සමඟ මැලේරියා මර්දන වැඩසටහන් ආරම්භ කළා. 1999 වන විට ලක්ෂ 06 ක් පමණ ජනතාව මැලේරියාවට ගොදුරු වී සිටිය ද වසර 2012 වන විට රෝගීන් වාර්තා වුයේ 17 ක් පමණයි. මෙම සාර්ථකත්වයට දේශපාලන නායකත්වය ද හේතුවක් වුනා. තව ද ස්වාධීන තාක්ෂණික කණ්ඩායම් ස්ථාපිත කරමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළා. තව ද ලැබෙන තොරතුරු මත මැලේරියා මර්දන වැඩසටහන් දියත් කළා. මැලේරියා මර්දන කටයුතු වලට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැති තිස් අවුරුදු යුද්ධය ද අභියෝගයක් වුනා. උතුරු නැගෙනහිර ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේ දී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සදහා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ලබාගත්තා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය දශක කිහිපයක් පුරා ඒ සඳහා සහයෝගය ලබාදුන්නා. එමෙන්ම ගෝලීය අරමුදල, රතුකුරුස සංවිධානය ද සහයෝගය ලබාදුන්නා. මැලේරියා මර්දන වැඩසටහන් සදහා රජය දියත් කළ වැඩසටහන්වලට එල්.ටී.ටී.ඊ සංවිධානය ද ධනාත්මකව සහයෝගය ලබාදුන්නා. ඒ අනුව වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එම ප්‍රදේශවලට යැවීමට හැකියාව උදා වුනා.
     
    2009 වසරේ දී ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසු රටටම ගැලපෙන පරිදි වැඩපිළිවෙළක් දියත් කළා. 2014 වර්ෂයවන විට මැලේරියා රෝගය සම්පුර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණ ඇතිවයි ලක් රජය කටයුතු කළේ. 2014 වන විට කිසිදු මැලේරියා රෝගියෙක් ලංකාවෙන් වාර්තා වුයේ නැහැ. එම නිසා 2016 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස සහතික කළා.”


    “2008 වසරේ සිට කිසිදු මැලේරියා මරණයක් ද වාර්තා වුයේ නැහැ. එමෙන්ම තවදුරටත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංහය පියවර ගෙන තිබෙනවා. ඒ රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමට සහ ජනතාව රෝගයට ගොදුරවීමෙන් වළක්වාගැනීම සඳහායි. ශ්‍රී ලංකාවට විශාල වශයෙන් සංචාරකයින් පැමිණෙනවා. මැලේරියා රෝගයට ගොදුරු වී සිටින රටවල සංචාරකයින් ද ශ්‍රී ලංකාවට පැමිණීම තුලින් යළි රෝගය පැතිරයාමේ අවධානමක් පවතිනවා. එම නිසා විදේශීය රටවලින් පැමිණෙන සංචාරකයින් සදහා රෝග නිවාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන්ම රුධිර පරික්ෂණ වැඩසටහන් ඒ අතරින් ප්‍රධානයි. තවත් ප්‍රතිකාර ක්‍රම රැසක් සිදු කරනවා.”

    මෙහිදී ලෝකයේ සෙසු රටවලට මැලේරියා රෝගය මර්දනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදෙන පණිවුඩය පිළිබව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේය.

    “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ සිදු කරනවා. අධ්‍යාපනයත් එහෙමයි. සාක්ෂරතාව සියයට 97 ක්. එම නිසා ශ්‍රී ලාංකිකයින්ට මැලේරියා රෝගය මර්දනය කිරීමේ පණිවුඩය ගෙනයාමට පහසු වුනා. රජයේ රෝහල්වල වෛද්‍ය සේවා නොමිලේ ලබාදෙනවා. තව ද ගමකට රජයේ ආරෝග්‍ය ශාලාවක් පවතින අතර සෞඛ්‍ය අධ්‍යාපනය ජනතාවට කඩිනමින් ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා. ඉතාමත් හොද සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මකයි. මදුරු විකර්ශණ දැල් භාවිතය ද ජනතාව අතර ප්‍රචලිත කළා. එය ඉතා ප්‍රතිඵලදායකයි. අනෙක් රටවලට ද එම වැඩපිළිවෙළ දියත් කිරීමේ හැකියාව තිබෙනවා. තවද රෝගයට අදාළ ජාලයක් රට පුරා ස්ථාපිත කිරීම බෙහෙවින් වැදගත් වෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඩෙංගු මදුරු මර්දන ජාලයක් ද ක්‍රියාත්මකයි.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya