නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවැරදි ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට නම් නවීන තාක්ෂණයෙන් යුතු ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම වැදගත්

    සැප්තැම්බර් 20, 2017

    චෝදනාවන් වළක්වා නිවැරදි ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට නම් නවීන තාක්ෂණයෙන් යුතු ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.


    ලංකාවේ ටෙන්ඩර් ක්‍රමවේදයන්ගේ විනිවිදභාවය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රාජ්‍ය යාන්ත්‍රනය තුළ ටෙන්ඩර් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීම් විශාල ලෙස සිදුවේ. එබැවින් මෙරට ටෙන්ඩර් ක්‍රමවේදයන් තුළ විශාල ලෙස මුල්‍ය අක්‍රමිකතා සිදුවන බවට නිරන්තරයෙන් චෝදනා එල්ල වේ.  ඒ අතර ටෙන්ඩර් මණ්ඩල වල කටයුතු කරන පුද්ගලයන්  විනිවිදභාවයෙන් තොරව කටයුතු කරන බව එල්ල වන ප්‍රධාන චෝදනාවයි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා.

    නවීන තාක්ෂණයෙන් යුතු ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මගින් ටෙන්ඩර් මණ්ඩල මෙහෙයවන පුද්ගලයන් අදාළ පටිපාටින් උල්ලංඝණය කිරීම සහ අවභාවිත කිරීම අවම කිරීමට හැකියාව ලැබෙනවා. එය රටක ශක්තිමත් සංවර්ධන ක්‍රියාදාමයක් ස්ථාපිත කිරිමට හේතු සාධක වෙනවා.  දියුණු රටවල ඉලෙක්ට්‍රොනික් ටෙන්ඩර් ක්‍රමවේදය ලෙස හදුන්වනු ලබන්නේ එම ක්‍රමවේදයයි. සිංගප්පුරුව වසර 15කට වැඩි කාලයක් පුරා මෙම ක්‍රමය භාවිත කරන අතර ඉන්දියාව ද වසර ගණනාවක සිට ඊ- ටෙන්ඩර් ක්‍රමය හෙවත් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේද භාවිත කරන බව කිව යුතුයි. මේ මගින් ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ ඕනෑම ටෙන්ඩර් ක්‍රියාවලියක් සිදුව ඇති ආකාරය පිලිබඳ තොරතුරු සොයා බැලීමට සහ දැන ගැනීමට හැකියාව ලැබෙනවා. සිංගප්පුරුව, ඉන්දියාව වැනි  රටවල් තමන්ගේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පිටුපස ඇති ශක්තිය මෙයයි. නමුත් ශ්‍රී ලංකාවේ  දශක ගණනාවක සිට විනිවිදභාවයෙන් තොරව  සිදු වූ ටෙන්ඩර් මගඩි හේතුවෙන්  විශාල ආර්ථික අලාභයන්  සිදුකරගෙන තිබෙනවා.

    මෙරට ටෙන්ඩර් ක්‍රමය තුළ ඊට සම්බන්ධ වන පිරිස් රහසිගතව බාහිර පාර්ශවයන් සමඟ සම්බන්ධ වෙමින් මුල්‍ය අක්‍රමිකතාවයන් සිදු කරන බවට එල්ල වන චෝදනාව ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබෙනවා.

    අපේ දේශපාලන කරළියේ ටෙන්ඩර් මණ්ඩල වල කොමිස් ගැසීම් පිලිබඳ බොහෝ පාර්ශවයන්ට අතීතයේ සිට ඇගිල්ල දිගු වූ අවස්ථා අනන්තවත් සිදුව තිබෙනවා. මාර්ග ඉදිකිරීමේ සිට වෙනත් මහා පරිමාණ ඉදිකිරීම් දක්වා විහිද ගිය ජාවාරමක් බවට එය පත්ව තිබීම රහසක් නොවේ.


    පැවතී සහ පවතින සියලු දේශපාලන ප්‍රවාහයන්ට ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ටෙන්ඩර් මගඩි චෝදනා එල්ල වීම වංචාව සහ දුෂණය කිඳා බැසගත් ශ්‍රී ලංකික දේශපාලනයේ කණගාටුදායක සලකුණක් බවට පත්ව අවසන්.

    ඉලෙක්ට්‍රොනික ටෙන්ඩර් ක්‍රමවේදය හදුන්වා දීම තුලින් කිසියම් පාර්ශවයකට රහසේ තොරතුරු ගලා යාම නැතහොත් ඒක පාර්ශවිය ලෙස තොරතුරු හුවමාරු වීම වැලකි යනවා.

     ඒ අනුව වත්මන් රජය තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ස්ථාපිත කර ඇති තොරතුරු දැනගැනීමේ නිදහස ඔස්සේ ටෙන්ඩර් ක්‍රමවේදයන්ගේ වාර්තා ලබාගැනීමට ද හැකිවෙයි. එය දුෂණයට එරෙහි යහපාලන රාජ්‍ය ප්‍රතිපත්තියේ සාධනීය අවස්ථාවක් ලෙස පොදු මහජනතාව විසින් තීන්දු කිරීම අනිවාර්යෙයන් සිදුවනු ඇති.

    පක්‍ෂ පාට භේදයෙන් තොරව අතීතයේ සිට සෑම රාජ්‍ය පාලන කාල වකවානුවක් තුලදීම අශිලාචාර ටෙන්ඩර් මගඩි පිලිබඳ අපට ඇති අමිහිරි අතීතය වෙනස් කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගත  යුතුයි. මුල්‍යමය දෘෂ්ටි කෝණයෙන් චින්තනය මෙහෙයවන සුළු පිරිසක් ඇතැම් විට මෙවැනි විනිවිද ක්‍රමවේදයන් වලට එරෙහි වීමට ඉඩකඩ තිබෙනවා. එහෙත් යහපාලන ප්‍රතිරූපවාදීන් ලෙස අප තීන්දු කල යුත්තේ දේශපාලනයේදී වඩා යෝග්‍ය වන්නේ සුළුතර කොමිස් ගරන්නන් නොව සාධාරණ ආර්ථික ක්‍රමවේදයක් වෙනුවෙන් වෙහෙසන බහුතරය පිළිබඳව බවයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya