කෙසේ නමුත් 2017 ජූලි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළ විට, 2017 ජුනි මාසයේ දර්ශකය 123.4 සිට 2017 ජූලි මාසයේ දර්ශකය 122.4 දක්වා පහළ යාමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කළ විට 2017 ජූලි මාසයේ මෙම අඩුවීම 1.0ක දර්ශකාංක අඩුවීමක් හා 0.8ක ප්‍රතිශතකාංක අඩුවීමක් ලෙස වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.90%කින් අඩුවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.06%කින් වැඩිවීම බලපා ඇත.
ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවීම සඳහා එළවළු, අළුත් මාළු, පොල්, මයිසූර් පරිප්පු, රතුළූණු, ලොකු ළූණු, අමු මිරිස්, පොල් තෙල් සහ සුදුළූණු යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම බලපා ඇත. එසේ වුවත් සහල්, වියළි හාල්මැස්සන්, බිත්තර, කෙසෙල් සහ තේ කොළ යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් වාර්තා වී ඇත.
පසුගිය මාසය හා සසඳන කළ 2017 ජූලි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘ප්‍රවාහන’, ‘විවිධ භාණ්ඩ හා සේවා’, ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’, ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’, සහ ‘රෙදිපිළි හා පාවහන්’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා ඇත. එමෙන්ම ‘ආපනශාලා හා හෝටල්’ යන කාණ්ඩයේ වියදම්වල වටිනාකමෙහි සුළු වැඩිවීමක් වාර්තා වේ. එසේ වුවත් 2017 ජුනි මාසය හා සංසන්දනය කළ විට ‘සෞඛ්‍ය’ කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවී ඇත. ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’, ‘සන්නිවේදන, ‘විනෝදාත්මක හා සංස්කෘතික’, ‘අධ්‍යාපන’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.