අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරු මර්දන ඇරඹෙයි - සුව ඇමැතිගෙන් මාධ්‍යයට තුති

    ජූලි 15, 2017

    "සැවොම එක්වෙමු - ඩෙංගු දුරලමු” යන තේමාව යටතේ ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සියලුම මාධ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් අද (15) පෙරවරුවේ දිවයින පුරා ක්‍රියාත්මක විය.

    සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සියලුම මාධ්‍ය කණ්ඩායම් එක් එක් ප්‍රදේශවල දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට එක්ව සිටියහ.

    කළුතර දිස්ත්‍රික්කයේ එම වැඩසටහන බේරුවල චීන කොටුව ප්‍රදේශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරම්භ කෙරුනි.

    බෝනොවන රෝග ප්‍රබල තර්ජනයක් වුවත්, වර්තමානයේ ඩෙංගු උවදුර සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති විශාල ගැටලුවක් බවත් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියද මරණ සංඛ්‍යාව දශම 3 ක මට්ටෙමි පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබි තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

     දැනට රෝගීන් 90,000 ක් වාර්තා වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් පැමිණ ඩෙංගු රෝග තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් පසු ක්‍රියාකාරී සැළස්මක් තමා වෙත භාර දුන් බව ද සඳහන් කළේය.

    සති 04 කින් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50 දක්වා අඩු කිරීමේ සැළසුම් ඊට ඇතුළත්. එය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල්‍යාධාර පවා ලබාදීමට සුදානමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ විධිමත් කළා.

    ඩෙංගු රෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මර්දනය කිරීමට බැහැ. ජනතාව බලගැන්වීය යුතුයි. සංවර්ධිත රටවල පවා ඩෙංගු උවදුර පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද සඳහන් කරන්නේ නිවසේ නොපෙනන ස්ථානවල ඩෙංගු මදුරුවන් සිටින බවයි. රෝගීන්ගේ සංඛ්‍යාව 08 ගුණයකින් ඉහළ ගියද මදුරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා නැහැ. ඩෙංගු රෝගීන් සුවපත් කිරීම සදහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරනවා. මදුරුවන් මර්දනයටත් එහෙමයි. අද දින සියලුම මාධ්‍ය ආයතන සිය වාණිජ පරමාර්ථ පසෙකලා ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා දායකවීම මම අගය කරනවා. මාධ්‍යයට ස්තූතිය පුද කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීමට සැළසුම් සකස් කළේ නම් රුපියල් කෝටි ගණනාවක මුදලක් වැය වනවා. නමුත් මාධ්‍ය ආයතන එය නොමිලේ සිදු කරන්නේ. ඩෙංගු මරණ සංඛ්‍යාව අවම බව ප්‍රකාශ කරමින් ඉන්න හොද නැහැ. රෝගීන්ගේ සංඛ්‍යාව ද අවම කළ යුතුයි. ඒ සදහා කොටින්ගෙන් රට බේරාගත් ත්‍රීවිධ හමුදාව පොලීසිය ද සක්‍රීය දායකත්වය ලබාදෙනවා. එයත් අගය කළ යුතුයි. සියලුම ජනතාව  ජාතියක් ලෙස ඒකාබද්ධව ඩෙංගු මදුරු මර්දනයට දායකත්වය ලබාදිය යුතුයි.”

    මෙම සමාරම්භක අවස්ථාවෙන් පසු ත්‍රීවිධ හමුදා සාමාජිකයින් පොලිසිය හා සෞඛ්‍ය සේවකයින් නිවාස පරීක්ෂාවේ යෙදුන අතර, එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරයා ද එක්වූයේය. එහිදී චීන කොටුව ප්‍රදේශයේ ඩෙංගු මදුරු කීටයින් ඇති භාජන සොයාගත් සෞඛ්‍ය සේවකයින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් එම භාජන සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන් වූ අයුරු ඡායාරූපයේ දැක්වෙයි. තව ද ජනතාව දැනුවත් කිරීම සඳහා ඖෂධ නිෂ්පාදකයින්ගේ වාණිජ මණ්ඩලය විසින් සකස් කළ පෝස්ටරය ද සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී පිළිගන්වන ලදි.

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රීය මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න සංජීව මහතා, ඉස්ථිකාර් ජමිල් මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.එම් අම්ජාඩි මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු සහ වෘත්තීය සමිති නායකයින්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, ත්‍රීවිධ හමුදා සාමාජිකයින් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya