අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූර්ණ වශයෙන් අලුත්වැඩියා කළ ගුවන් යානා දෙකක් භාරදෙයි

    ජූලි 13, 2017

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ පහසුකම යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ පක්‍ෂාංගයේදී පළමු වරට පූර්ණ වශයෙන් අලුත්වැඩියා කරන ලද එෆ් 7 වර්ගයේ ගුවන් යානා දෙකක් භාරගැනීම පසුගිය දා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, චීනයේ එම්/එස් කැතික් (M/S CATIC) ගුවන් සේවා ඉංජිනේරු අංශයේ නියෝජිතයින් සහ තාක්‍ෂණ හුවමාරු ව්‍යාපෘතිය සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

    චීන එම්/එස් කැතික්(M/S CATIC) ආයතනයේ තාක්‍ෂණික සහයෝගීතාවයෙන් 2016 වසර ආරම්භයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා පූර්ණ වශයෙන් අලුත්වැඩියා කිරීමේ පක්‍ෂාංගය ආරම්භ කෙරිණි. මෙහිදී පළමු ගුවන් යානා පූර්ණ වශයෙන් අලුත්වැඩියා කිරීම් කිහිපය සඳහා චීන විශේෂඥ සහාය ලැබෙන අතර අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ස්වාධිනව ගුවන් යානා පූර්ණ වශයෙන් අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කිරීමේ හැකියාව ඇති කිරීමෙන් පසු ක‍්‍රමයෙන් ඉවත් වීමට නියමිතය.

    මූලිකව චීනයේ නිෂ්පාදිත ගුවන් යානාවන්හි ගුවන් යානා සැකිල්ලෙහි පූර්ණ වශයෙන් අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කිරීමට අපේක්‍ෂා කරනු ලැබුවත් අනෙකුත් රටවල නිෂ්පාදිත ගුවන් යානාවන්හි පූර්ණ වශයෙන් අලුත්වැඩියා කිරීම් සිදු කිරීමේ පහසුකමද පක්‍ෂාංගය සතුවෙයි.

    වෙනත් රටවල නිෂ්පාදිත ගුවන් යානාවන් කාලයක් මුළුල්ලේ භාවිතා කරනු ලබන බොහොමයක් රටවල් විසින් තාක්‍ෂණ හුවමාරු ව්‍යාපෘතීන් සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුකරනු ලබයි. මෙවැනි ක‍්‍රියාවළීන් මගින් විදේශ සහයෝගීතාවයකින් තොරව තම කාළය හා මුදල් යන දෙකම ඉතිරි කොට ගනිමින් ගුවන් යානාවන්හි පූර්ණ වශයෙන් අලුත්වැඩියා සිදු කිරීමේ හැකියාව ලැබෙයි. තාක්‍ෂණ හුවමාරු ක‍්‍රියාවළි සඳහා මූලිකව විශාල ප‍්‍රාග්ධනයක් වැයවුවත් එය අනාගත ආයෝජනයක් වෙයි. එනම් ව්‍යාපෘතීන් මගින් ලැබෙන දැනුම භාවිතා කොට පසු කාලීනව ගුවන් යානාවන්හි පූර්ණ වශයෙන් අලුත්වැඩියා සිදු කිරීම තුළින් විශාල පිරිවැයක් රටට ඉතිරි කර ගැනීමේ හැකියාවක් ලැබේ. එසේම මෙමගින් දේශයේ ගුවන් යානා කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති වන අතරම ගුවන් යානා තාක්‍ෂණික ඉංජිනේරුවන් හට තම හමුදා ජීවිතයෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව ක්ෂේත‍්‍රයේ ඵලදායී රැකියාවක් සඳහා යොමුවීමට අවස්ථාවක්ද හිමිකර දෙනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya