අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දේශීය ආදායම් පනත ආයෝජක මිත්‍රශීලී පනතක් - මුදල් හා ජනමාධ්‍ය ඇමැති

    ජූලි 11, 2017

     යෝජිත නව දේශීය ආදායම් පනත මඟින් ශ්‍රී ලංකාවේ බදුකරණය සරල කරන අතර, ඉදිරියේදී එය ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජක මිත්‍රශීලී පනතක් වනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

    වර්තමානයේ පවත්නා ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ඉතා සංකීර්ණ එකක් වන අතර, එය අර්ථකථනය කිරීම නව ආයෝජකයින්ට ඉතා දුෂ්කර එකක් වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා, නව පනත මඟින් බදු ක්‍රමය පුළුල් කර අන්තර්ජාතිකව පිළිගැනීමකට ලක්වූ දේශ සීමාන්තර වාණිජ කටයුතුවලට අදාළ ප්‍රතිපත්තීන්ද ඇතුළත් කර ඇතැයිද පැවසීය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යාංශයේදී ඊයේ හමුවී නව පනතට අදාළ කරුණු සාකච්ඡා කළේය.

    මෙම යෝජිත නව පනත සම්බන්ධයෙන් හෝ බදු අයකිරීම සම්බන්ධයෙන් වූ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඒවාට සාධනීය ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් යැයි පැවසූ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් හට යම් ගැටලුවක් ඇත්නම් මුදල් අමාත්‍යාංශය වෙත ඒවා ඉදිරිපත් කරන්නැයි අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයන් හට දැනුම් දුන්නේය.

    ශ්‍රී ලංකාවේ ජාතික ආදායමට අදාළව ප්‍රධාන දායකත්වයක් දෙන බදු අයකිරීම 2011 වසර සිට අඛණ්ඩව පහත වැටී ඇති අතර, නව රජය මඟින් ගෙනයන ලද ප්‍රතිසංස්කරණ කටයුතු  හේතුවෙන් බදු අයකිරීම මෑතකදී ඉතා ඉහළ මට්ටමට ළඟා වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනමය හා තාක්ෂණික ගැටළු පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමුකළ වෘත්තීය සමිති නියෝජිතයන් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා දේශීය හා විදේශීය පුහුණු අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී අදහස් පළ කළහ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය පිළිබඳවද ඇමතිවරයාගේ අවධානය යොමු කරවන ලදී.

    මෙම සාකච්ඡාවට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරු වන ජී.ඩී.සී. ඒකනායක මෙනවිය, එස්.ආර්. ආටිගල මහතා, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. සෙනවිරත්න මහතා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා ඇතුළුව මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya