මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීමට පියවර

    ජූලි 02, 2017

    පොදුජනතාවගේ ව්‍යාපාරයක් වූ සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම තීන්දු තීරණයක්ම ගන්නා බවත් සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී උපරිම කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (01) කුරුණෑගල මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේ පැවති 95 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමිනි.

    පොදු ජනතාවගේ හිතවතා ලෙස කටයුතු කරන මානවවාදී ව්‍යාපාරයක් වු සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම යනු රටේ දුගී භාවය තුරන් කිරීමේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන සාධකයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    විදේශ වත්කම් ශක්තිමත් කිරීමට මෙන්ම අපනයන ආදායම වැඩි කිරීම සඳහා ද සමූපකාර ව්‍යාපාරයට අයත් බොහෝ ක්ෂේත‍්‍ර වැඩිදියුණු කළයුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා තිබෙන කර්මාන්ත වැඩිදියුණු කිරීම මෙන්ම නව කර්මාන්ත ඇති කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

    සමූපකාර ව්‍යාපාරයේ තිබෙන ගැටලු නිරාකරණය කර ගනිමින් එය හෙට දවසේ ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් කරමින් නව ජවයක් සහ නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට රජයේ සියලූ වගකීම් නොපිරිහෙළා ඉටුකරන අතරම මෙරට සමූපකාර ව්‍යාපාරයේ 2020 දැක්ම සාර්ථක කර ගැනීම සඳහා ක්ෂේත‍්‍රයේ සියලුදෙනා තම වගකීම් ඉටුකළයුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    සමුපකාර සංවර්ධන 2020  දැක්ම, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
     
    සමුපකාර මණ්ඩලය මගින් වයඹ පළාත් සමුපකාර සේවක අරමුදල සඳහා ලබාදුන් රුපියල් මිලියන 100 ක මුදලට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිතුමා අතින් නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.

    ජාත්‍යන්තර සමූපකාර දින සැමරුමට සමගාමීව සංවිධානය කළ තරගවල ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් වෙත සම්මාන සහ සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවසක යතුර ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    වයඹ පළාත් මාර්ග, ප‍්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළෙඳ, නිවාස ඉදිකිරීම්, කර්මාන්ත සහ ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

    අමාත්‍යවරුන් වන අනුර ප‍්‍රියදර්ශන යාපා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, එස්.බී නාවින්න, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, චම්පිකා පේ‍්‍රමදාස, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජේ.සී. අලවතුවල සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුථ ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් ද සමුපකාර කොමසාරිස් එල් නසීර්  මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya