නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබද කථීකාව වත්මන් රජය ආරම්භ කර තිබෙනවා

    ජූනි 27, 2017

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබද කථීකාව වත්මන් රජය ආරම්භ කර තිබෙනවා. මේවා කඩාකප්පල් කරන්න ඇතැම් අය ජාතිය, ආගම අල්ලාගෙන කැ ගහනවා යැයි සෞඛ්‍ය.පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    "අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” සංවිධානය කරන ලද "අලුත් ව්‍යවස්ථාවට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ හොරණ ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ය.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "රටේ ප්‍රශ්න මදිවට ව්‍යවස්ථාව ගැන කථා කරනවා ද කියා ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා. රටක් සෑදීම හරිම අමාරුයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරිම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, ජාතික ප්‍රශ්නය විසඳීම යන කරුණු කෙරෙහි ව්‍යවස්ථා සම්පාදනයේ දී වැඩි අවධානය යොමු කරනවා. ජාති, ආගම් මත රට තුල ගැටුම් නිර්මාණය කරන පිරිසකුත් සිටිනවා. මිනිස්කම හදුනාගත යුතුයි.

    ඇතැම් විදේශීය රටවල ජාති, ආගම්, කුලය ගැන බලන්නේ නැහැ. මම ඒකාධිපති ක්‍රමයට කැමැති නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට හරිම ආදරෙයි. ඡේ.ආර් ජයවර්ධන මහතා විසින් ගෙන එන ලද ඒකාධිපති ව්‍යවස්ථාවට මම 1978 වර්ෂයේ සිටම විරුද්ධව කථා කළා. එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට තීන්දු තීරණ සම්මත කර තිබෙනවා.”


    "ජනාධිපතිධූරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නීතියත් වත්මන් රජය වෙනස් කළා. පාර්ලිමේන්තුවේ දීත් ජනාධිපතිවරයා විවෙිචනය කළ හැකියි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉටු කළේ එයයි. වත්මන් ජනාධිපතිවරයා තම බලතල දන් දී තිබෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් නොකළ හොත් මැතිවරණ සදහා විශාල මුදලක් වැය කිරිමට සිදු වෙනවා. සාමාජය විසින් පිළිගත් පුද්ගලයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැරි වුනත්, මුදලාලිලාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් උදා වෙනවා. ජාතිය, ආගම බේරා ගැනීමේ සටන් හේතුවෙන් රට ආපස්සට ගියා.

    මනුස්සකම බේරා ගන්න කවුරුත් උනන්දු වුනේ නැහැ. අන්‍ය ආගම්වලට ගරහන්න එපා. බුද්ධ වචනයට ගරහමින් ඇතැම් අය කටයුතු කරනවා. නූතන ශ්‍රී ලංකාවේ පියා ලෙස පොන්නම්බලන් රාමනාදන් මහතා පිළිගන්නේ අපි නොවෙයි. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයායි. දරුවන්ගේ හිත් තුළින්න් හෝ ජාතිය, අගම මත කුළල් කා ගැනීම ඉවත් කළ යුතුයි. බලය ලබාගැනීමට සිංහල දේශපාලනඥයින් සිංහල ජාතිවාදය පැතිරවීමට කටයුතු කළා. දෙමළ දේශපාලනඥයින් දෙමළ ජාතිවාදය පැතිරවීමට උත්සාහ කළා. ඉන් පසු මුස්ලිම් ජාතිවාදයත් බිහි වුනා.”


    "ෆෙඩරල් ක්‍රමය පිළිබද පළමුව අදහස් පළ කළේ බණ්ඩාරනායක මහතායි. වර්තමානයේ ඇතැම් දේශපාලනඥයින් කියා සිටිනවා යුද්ධයක් ඇති වුනොත් ඊට මුහුණදීමට විධායක බලතල අවශ්‍ය බව.  එය බොරුවක්. යුද්ධය ඇතිවීමට එක් හේතුවක් වුයේ විධායක ජනාධිපතිධූරයයි. මෙවැනි බොලද දේශපාලන ප්‍රකාශ වලට රැවටෙන්න එපා. මොළයෙන් තීන්දු ගන්න. පපුවෙන් තීන්දු ගන්න එපා. ජාතික ප්‍රශ්නය ඉදරි පරපුරට බාරදෙන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබද කථීකාව වත්මන් රජය ආරම්භ කර තිබෙනවා.

    නමුත් ඒකාබද්ධය හෙවත් මලබද්ධය එම වැඩපිළිවෙල විනාශ කරන්න හදනවා. ඒ බලයට ඇති කෑදරකම නිසයි. උතුර සංවර්ධනය කරන විට දෙන්න එපා කියා කුළල් කා ගන්න එපා. ඒකීය රාජ්‍යයක් යටතේ බලතල බෙදා හරින්න දෙමළ ජාතික සංවිධානයත් සුදානම්. මෙය ස්වර්ණමය අවස්ථාවක්. මේවා කඩාකප්පල් කරන්න ඇතැම් අය ජාතිය, ආගම අල්ලාගෙන කැ ගහනවා. බුදුරජාණන් වහන්සේ කාලාම සුත්‍රයෙන් පවා ජාතිය ආගම ගැන දේශනා කර තිබෙනවා. බුදුන් වහන්සේ ලඟ මනුස්සකම තිබුනා.”


    මෙම අවස්ථාවට ධර්ම සිරි බණ්ඩාරනායක, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, මහින්ද රත්නායක, ලුෂන් බුලත්සිංහල යන මහත්වරු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya