නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා තුළ ව්‍යාපාර කිරීමට ඉඩක් නෑ - සෞඛ්‍ය ඇමැති

    ජූනි 20, 2017
    වෛද්‍ය, සෞඛ්‍ය සේවා තුළ ව්‍යාපාර කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් ව්‍යාපාර සීමා රෙගුලාසි යටතේ සිදු කළ යුතු යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පාරිශ්‍රයේ දී පැවැති  රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ 60 වන සංවත්සර උළෙල අමතමිනි.
     
    "ජාතික ඖෂධ පනතට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළා. ඊට විරෝධතා මතු වුනා. ඇතැම් පිරිස් යෝජනා කළා සියයට 85 ක් දක්වා මිල අඩු කරන්න කියලා. නමුත් එය අසාර්ථකයි. ව්‍යුහාත්මක සුත්‍රයක් මත ඖෂධ මිල අඩු කළා. ප්‍රතිශතයක් මත ඖෂධ මිල අඩු කළ හොත් ආනයනකරුවන් නියම වටිනාකම ලබාදෙන්නේ නැහැ. අක්‍රමිකතා ඇති වෙන්න පුළුවන්. මෙවර මිල අඩු කළ ක්‍රමයෙන් අක්‍රමිකතා ඇති වුයේ නැහැ. පෞද්ගලික රෝහල්වල ද මිල නියාමනය කරනවා. පෞද්ගලික අංශය ව්‍යාපාර කළ යුතුයි. නමුත් සාධාරණ සීමාවක් ඇති කළ යුතුයි. ලෝක වෙනස්වීම් දෙස බලා ඉදිරියට යා යුතුයි. ගෝලීයකරණය එම නිසා ඉතා වැදගත්” බවත් පෙන්වා දුන්නේය.
     
    "ඖෂධවෙිදී සේවාව ශ්‍රී ලංකාවේ ආරම්භ වුයේ 1957 වර්ෂයේ දීය. දැනට ඖෂධවේදීන් 1500 ක් පමණ රාජකාරී කටයුතු සිදු කරනවා. මෙය වැදගත් වෘත්තියක්. ක්‍රී.පූ 1400 දී තමයි ලෝකය තුළ ඖෂධවේදය ආරම්භ වුයේ. වසර 4000 ක අතීතයක් මෙම වෘත්තියට ඇති බව සොයාගෙන තිබෙනවා". 
     
    "ඖෂධවේදීන්ට ද උපාධිය ලබාදීමේ යෝජනාව 2002 වර්ෂයේ දී ඉදිරිපත් වුණා. දුපත් මානසිකත්වයෙන් කටයුතු කරන ඇතැම් වෛද්‍ය සංගම් එයට විරුද්ධ වුණා. විරෝධතා මතු කළා. අදත් මහනුවර මහ රෝහලේ මෙම පාඨමාලාව හදාරන අයට ඇතැම් පිරිස් විරෝධය පළ කරනවා. රටක් දියුණු වෙන විට වෘත්තීන් ද දියුණු කළ යුතුයි. අපේ රජය විසින් හෙද පීඨයක් ආරම්භ කරනවා. වැය කරන මුදල රුපියල් බිලියන 12.5 ක්. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ දැමුවා. එම වැඩි කිරීම මත ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතිකාල දිමනාත් වැඩි වෙනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    සාමාජිකයින් 1500 කගෙන් සමන්විත මෙම සංගමයේ 60 වසරක ඉතිහාසය තුළ ඖෂධවේදී වෘත්තිය අධ්‍යපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ විශ්වෙවිද්‍යාලවල ඖෂධවේදී දෙපාර්තමේන්තු වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලාව උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් බවට නම් කිරීම ද මෙහිදී සිදු විය. 
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ හා පුහුණු) සුනිල් ද අල්විස්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya