නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාහියන් ලෙන නාය යාම වැළැක්වීමට සැලැස්මක්

    ජූනි 13, 2017

    පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාය යාමේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික පාහියන් ලෙන පිළිබඳ බහු විෂයික වාර්තාවක් කැඳවීමට එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව මේ සම්බන්ධ ආයතනවල විද්වතුන්ගේ සහභාගිත්වයෙන් අදාළ වාර්තාව සකස් කිරීමේ විශේෂ සාකච්ඡාවක් සෙත්සිරිපායේ දී  ඊයේ (12) පැවැත්විණි.

    ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා ප්‍රකාශ කළේ එම ප්‍රදේශය ආශ්‍රිත පස් ස්තරය පසුකාලීනව (එනම් වසර පනහකට හැටකට පමණ ඉහත දී) ගොඩ කරන ලද ඒවා බැවින් වර්ෂාවත් සමග එම පස් ස්තරවල ඇති ජල අංශු ප්‍රමාණය ඉහළ යාමත් ඊට සාපේක්ෂව පස්වල ස්කන්ධය ඉහළ යාමත් මෙම ඉරි තැලීමට හේතු වී ඇති බවයි. මීට අමතරව එම ස්තරයේ ස්කන්ධය වැඩිවන ආකාරයෙන් ඉදිකරන ලද පියගැට පෙළ, රුක් රෝපණ ආදීය ද මේ සඳහා යම් බලපෑමක් සිදු කර ඇති බව ද මෙහි දී සාකච්ඡාවට ලක් විය.

    එසේම මෙහි දී අනාරවරණය වූයේ  2008 වසරේ සිට සියුම් ලෙස ඉරිතැලීමක් පාහියන්ගල ලෙන ඉදිරිපිට සිදු වී තිබුණු බවයි. කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයෙන් පාහියන්ගල ලෙන නාය යාමේ අවධානමක් නොමැති බවත් මෙහි දී අවධාරණය  කෙරිණි.


    මෙහි අවධානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෛනිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

    මීට අමතරව  මෙම කලාපය සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව සාකච්ඡාවට ලක් වූ අතර  පුරාවිද්‍යාත්මක උරුමයන් විනාශ වී යාම වළක්වා ගනිමින් තවදුරටත් අවශ්‍ය කැණීම් සිදු කිරීම සඳහා ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සහයෝගය ඇතිව, සමස්ත වාර්තාව ලැබුණු පසු විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමටත් මෙහි දී තීරණය විය.

    මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya