අකුරැස්ස,මොරවක,දෙනියාය,කොටපොල,පිටබැද්දර,පාහියන්ගල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අමාත්‍යවරයා, ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය කඩිනම් පියවර සම්බන්ධයෙන් මෙහි දී නිලධාරීන් දැනුවත් කර තිබේ.
නායයාම් සහ ගංවතුර තත්වය මත හානියට පත් මාතර තුඩගලහේන කණිෂ්ඨ විද්‍යාලය, පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලය, දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, මොරවක මධ්‍ය මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක් මෙහි දී අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
විශේෂයෙන්ම ගංවතුර අවදානම පැවතීම හේතුවෙන් ඊට ඔරොත්තු දිය හැකි පරිදී පරිගණක විද්‍යාගාරය, පුස්තකාලය, සෞන්දර්ය ඒකකය ආදිය බිම් මහල්වල ස්ථාන ගත කිරීමෙන් වැළකී ඒ සඳහා ඉහළ මහල් යොදා ගන්නා ලෙසත්, විනාශ වී ගිය සහ අබලන් වූ ගොඩනැගිලි වෙනුවට නව මහල් ගොඩනැගිලි ඉදිකිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට අවධාරණය කළේය.
මීට අමතරව විනාශ වී ගිය පාසල් සඳහා පරිගණක, සෞන්දර්ය උපකරණ ඇතුළු සෙසු ද්‍රව්‍ය ලබාදීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
එක් එක් පාසල්වල භෞමික සැකැස්ම, භූගෝලීය වටපිටාව, පාසල් ගොඩනැගිලි ඉදිකර ඇති ස්වභාවය ආදිය සැලකිල්ලට ගෙන පාසලට ආවේණික ප්‍රධාන සැලැස්මක් සකස් කරගන්නා ලෙස සෑම පාසලකට ම උපදෙස් ලබාදී ඇති බව ද, ඇතැම් පාසල් ප්‍රධානීන් එම උපදෙස් නොතකාහැරීම හේතුවෙන් මෙවැනි ආපදා අවස්ථාවල දී සිදුවන හානි අවම කරගැනීමට නොහැකි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.