ලංකාගම ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරම ගම්මානය වන අතර නෙළුවේ සිට කිලෝ මීටර 12ක් පමණ ඈතින් මේ ගම්මානය පිහිටා තිබේ. අමාත්‍යවරු දෙපළ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් මේ ගම්මානයට ළඟා වූයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකිනි.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරම ගම්මානය වන මෙම ගම්මාන සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු උපදෙස් ලබාදුන් බවයි.
අධික වැසි ඇතිවීමත් සමග ලංකාගම සමග තිබූ සියලු සම්බන්ධතා බිඳවැටී තිබිණි. ලංකාගම පවුල් 300ක් හා ඒ අවට පවුල් 600 ට වැඩි පිරිසක් ආපදා තත්ත්වය හේතුවෙන් කොටු වී සිටි අතර කිසිදු ආකාරයකින් මේ ගම්මානය වෙත ළඟා වීමට නොහැකිව තිබිණි. එමෙන් ම විදුලිය බිඳවැටීම හා සන්නිවේදන කටයුතු ඇණහිටීම හේතුවෙන් ගම්වැසියන් සමග තිබූ සම්බන්ධතා ද ඇණ හිට තිබිණි.
නෙළුව දූලි ඇල්ලේ නායයාමකින් පුද්ගලයන් අට දෙනකු මියගියේ ද ලංකා ගම ආසන්නයේ පිහිටි තේ කර්මාන්තශාලා භූමියකය. විපතටපත්ව සිටි පුද්ගලයන් බේරාගැනීමට ගොස් මියගිය ගුවන් හමුදා නිලධාරියා අනතුරට පත්වූයේ ද ලංකාගම ආසන්නයේ ස්ථානයක දී වීම විශේෂත්වයකි.
අමාත්‍යවරු ලංකාගම වෙත යනවිට විශාල පිරිසක් ලංකාගම මහාවිද්‍යාලයට රැස්ව සිටියහ. ලංකාගම විද්‍යාලයේ පිටුපස පස් කන්දෙන් විශාල කොටසක් කඩා වැටී තිබිණි. ලංකාගම වෙත පැමිණීමට ඇති මාර්ග සියල්ල ගංවතුර හේතුවෙන් විනාශ වී ගං ඉවුරට කැඩී යතුරුපැදිකටවත් මේ ගම්මානයට ළඟාවිය නොහැකි තත්ත්වයක ඇත. විදුහල ඉදිරිපිටින් ගලාබසින ගිං ගඟෙහි ඊයේ වනවිටත් අඩි පහක් ඉකමවූ ජල කඳක් ගලායන බව ගැමියෝ කියති.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසන්නේ ලංකාගම එක් වෛද්‍යවරයකු සිටිය ද ගංවතුර හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි රෝග සඳහා අවශ්‍ය බෙහෙත්වර්ග ගුවනින් ඒ වෙත යැමීමට අවශ්‍ය බවයි.
මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීවේය.
‘‘ මට විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් පුද්ගලිවම කතා කරලා කීවා ලංකාගමට හැකි ඉක්මණින් ගිහින් එහි පදිංචි ජනතාව ගැන සොයා බලන්න කියා.
අද ආවම මා දුටුවා මේ පාර විනාශ වෙලා. ගමට එන්න කිසිම ක්‍රමයක් නැහැ. විදුලිය නැහැ. දුරකථන සම්බන්ධතා නැහැ. සල්ලි තිබුණත් කෑම වර්ග ගන්න හැකියාවක් නැහැ. අපි මුල් දින දෙක තුනේ කළේ මිනිසුන් මියයන එක වළක්වා ගැනීමයි. දැන් අපි සහන ලබා දෙනවා. රජයක් ලෙස අපි ඔබ සියලු දෙනා ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඉක්මණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැබෙන්න සලස්වන්නම්. පාරවල්වලින් ගේන්න බැරි නිසා ගුවන්යානා මගින් හෝ ඒවා ගෙන එනවා. ඒ වගේ ම මේ පාර අපි ඉක්මණින් පිළිසකර කරන්න කටයුතු කරනවා.
ගමේ ආර්ථිකය රඳා පවතින්නේ මේ මාර්ගය නිසා ගමේ කඩන තේ දළු ටික අරගෙන යන්න ඕන. මේ දරුවන්ගේ පොත්පත්, උප්පැන්න සහතික සියල්ල යළි ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේ ම ඉදිරි දින කිහිපයේ දී දේපල හානිවලට වන්දි ලබාදීමටත් අපි පියවර ගන්නවා. “
මෙහි දී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේ කීවේය.
‘‘ රජයක් ලෙස අපේ වගකීමක් තියෙනවා ඔබ සියලු දෙනාට උදව් කරන්න. ඒ වගේ ම මේ විපතට පත්වූ වෙලාවේ ආරක්ෂා කරන්න. අපි ඒක ඉක්මණින් ඉටු කරනවා. ප්‍රධාන පක්ෂ දෙක එක්ව පවත්වාගෙන යන මේ ජාතික රජයේ අපි හැමෝම මේ වෙලාවේ කඩිනමින් ඔබ වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න කටයුතු කරනවා. මාර්ගය ඉක්මණින් හදන්න හැකිවේවි. ඒ වගේ ම ගඟ ඉවුරු කැඩීයාම වැළැක්වීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගැනීමටත් අපිකටයුතු කරනවා. “
ලංකාගම පාසල ඉදිරිපිට ගං ඉවුර විශාල වශයෙන් කැඩී ගොස් මාර්ගය ද විනාශ වී පාසලේ බැම්ම දක්වාම ගඟට බිලිවී තිබේ. අබේර්ධන අමාත්‍යවරයා කියා සිටියේ මේ ස්ථානයේ ගල්වැටියක් යොදා ගඟ තවදුරත් පුළුල්වීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බවයි.