මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත්වූවන්ට සහන සැලසීමට රුපියල් මිලියන 45ක්

    මැයි 26, 2017

    විපතට පත් ජනතාවට හදිසි සහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 45ක මුදලක් ආපදාවට පත්වූ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ලබාදීමට සැලසුම් කර ඇති බව වැඩබලන ආපදා කළමනාකරණ වැඩබලන අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පැවසීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් මෙම මුදල් වෙන් කිරීමට කටයුතු කර තිබෙන අතර  අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ජාත්‍යන්තර සංවිධාන සහ තානාපති කාර්යාලවල සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළේය.

    අයහපත් ක‍ාලගුණ  නිසා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී පැවැති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    තවද මෙම හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් දියත් කර ඇති අතර ළඟා විය නොහැකි ප්‍රදේශවල ජනතාව මුදවා ගැනීම සඳහා ගුවන් යානා ද යොදවා ඇති බව ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා  පැවසීය. එසේම මෙම මුදවා ගැනීමේ කටයුතු සඳහා යුධ හමුදාවේ සේනාංක 2ක් සහ නාවික හමුදා බලකායන් සියලුම ප්‍රදේශ වෙත පිටත් කර ඇති බව ඒ මහතා සඳහන් ක‍ළේය.   

    ගෙවීගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ කුකුළේගම ප්‍රදේශයෙන් වන බවත්, එය මිලි මීටර් 553ක අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ආර්.ජයසේකර මහතා. ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වර්ෂාපතනය පවතින බව පැවසූ ඒ මහතා සඳහන් කළේ මෙම ආපදා තත්ත්වය තවත් වර්ධනය වීමට ඉඩ ඇති බැවින් ආපදා සඳහා අනතුරු ඇඟවීම් සිදු කරන ලද ප්‍රදේශවලින් අදාළ ජනතාව ඉවත් වීමට කටයුතු කළ යුතු බවයි.

    මෙම ආපදාවට පත්වූ ස්ථාන නැරඹීමට මහජනතාව රැස්වීම නිසා සහන සැලසීමේ කටයුතු සිදු කිරීමට බාධා ඇතිවන බැවින් එසේ එම ස්ථානවලට යෑමෙන් වළකින ලෙස මහජනයා දැනුවත් කිරීමේ වගකීම ජනමාධ්‍ය විසින් ඉටුකළ යුතු බවද  කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්.මියනවල, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.තුරෛයිසිංගම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) රියර් අද්මිරාල් ඒ.ඒ.පී.ලියනගේ, යන පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya