අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවදානම් කලාපවලින් හැකි ඉක්මණින් ඉවත්වන්න

    මැයි 26, 2017

    පවතින අයපහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සෑම ගංඟාවක් අවට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ගංඟා ආසන්නයේ පදිංචි සියලුම පවුල්වලට තම නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස රජය දැනුම් දෙයි.

    ගංවතුර තර්ජනය ඇති සෑම ප්‍රදේශයක ම පාසල් වසා දමා එම ස්ථානයන් හි අවතැන් වන ජනතාවට නවාතැන් ගැනීමට ඉඩ සළසන ලෙස ද අදාළ ප්‍රාදේශීය ලේකම්කාර්යාල වෙත දැනුම් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

     

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන් පවතින දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කර්යාලවලට අනුයුක්තව සේවය කරන රජය නිලධාරීන් හා සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වනතුරු අවලංගු කර ඇති බවයි. සියලුම රජයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි තමන්ගේ සේවා ස්ථානවලට වාර්තා කළ යුතුය. යම් රජයේ නිලධාරියකු ගංවතුර බලපෑමකට ලක් වී ඇත්නම් ඔහුට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි නම් ඔහුගේ හෝ ඇයගේ දෙවැනි නිලධාරියා හෝ ආසන්නතම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරී ඉටු කිරීමට කටයුතු කළ යුතුය.

     

    තව ද යම් නිලධාරීන්ගේ හිඟයක් ඇත්නම් විශ්‍රාමික ඕනෑම රජයේ නිලධාරියකු සේවයට යොදවා රාජකාරී ඉටු කිරීමට අදාළ දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා ඇත.

     

    අවතැන්වූ හා පීඩාවට පත්වූ ජනතාව බේරාගැනීමත්, ඔවුන්ට සහන සැලසීමත් දැනටමත් රජය විසින් ආරම්භ කර ඇති අතර ගංවතුර ඇති ප්‍රදේශවල කොටු වී සිටින ජනතාව බේරාගැනීමට නාවික හමුදාවේ බෝට්ටු හා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදවා තිබේ. මේ අතර රජයට අමතර බෝට්ටු ලබාදෙන ලෙස ධීවර හා සංචාරක බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර එම බෝට්ටු නාවික හමුදාව මගින් ගංවතුර ප්‍රදේශවලට යැවීමට කටයුතු කරන බවත් සියලුම ගෙවීම් රජය මගින් සිදුකරන බවත් ඒ සඳහා කිසිදු අමතර ගෙවීමක් නොකරන ලෙසත් විපතට පත්වූවන්ට රජය දැනුම්දෙයි. ළඟාවිය නොහැකි ප්‍රදේශ සඳහා මෙම බෝට්ටු ගුවන් හමුදාව මගින් ප්‍රවාහනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත.


    මෙම ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48ක කාලයේ දී තවත් දරුණු විය හැකි බැවින් සියලුම ආපදා කළමනාකරණ තත්ත්වයන් සීරුවෙන් තබා ඇති අතර සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි පරිදි අදාල නිලධාරීන්ට බලය පවරා ඇත.

     

    අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදුව පිවිසුම් ජලයෙන් යටවී ඇති බැවින් සාමාන්‍ය වාහනවලට එම ස්ථාන දෙකෙන් ඇතුළුවීම හා පිටවීමට නොහැකිව ඇත. ආපදා සහන සේවා සඳහා එම ස්ථානවලට හමුදා ට්‍රක් රථ යොදවා තිබේග මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ ආපදා සහන සේවා සඳහා යොදවා ඇති සියලුම වාහන නැවත දන්වන තුරු අධිවේගී මාර්ගයේ ගාස්තුවලින් නිදහස් කර ඇති බවයි.

     

    අවතැන් වූ සහ පීඩාවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් වියළි ආහාර ඇතුළු සහන සේවා සැපයීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකරන අතර විපතට පත්වූ පුද්ගලයන්ට ආධාර ලබාදෙන යම් කණ්ඩායම් හා පුද්ලයන් සිටීනම් අදාල ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණයෙන් එම ආධාර ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියි.

    විදේශගත වී සිටින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ උපදෙස් ද මේ සඳහා ලැබී ඇති අතර ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර අදාළ අමාත්‍යාංශ ඇතුළු රජයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya