මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහතිකයේ ජාත්‍යන්තර ප්‍රමිතිය ඉහළට

    මැයි 24, 2017

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහතික සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව පියවර ගෙන තිබේ.

    ඒ අනුව විදේශගත වන පිරිස් වෙත විභාග දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ලබාදෙන විභාග සහතිකවලට අමතරව එම සහතිකවල පිටපත් අදාළ විදේශ තානාපති කාර්යාල වෙත ද යොමු කිරීමට  කටයුතු යොදා ඇත.

    විදේශගතවූවන්, ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත්කරමින් සිදුකරන අක්‍රමිකතා වැළැක්වීමත්, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ විභාග සහතික සම්බන්ධව පවත්නා පිළිගැනීම අඛණ්ඩව ආරක්ෂා කරගැනීමත් අරමුණු කරගනිමින් මේ තීරණය ගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ විභාග සම්බන්ධයෙන් ලෝකයේ සියලු ම රටවල ඉතා ඉහළ පිළිගැනීමක් පවතිනවා. ලෝකයේ එවැනි පිළිගැනීමක් සහිත රටවල් ඇත්තේ අතළොස්සක් පමණයි. ශ්‍රී ලංකාව එම රටවල් අතරට එක්ව සිටීම අභිමානයට කරුණක්. එහෙත් ඇතැම් පිරිස් විසින් වංචනික උපක්‍රම මඟින් සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාග සහතික ඉදිරිපත් කරමින් විදේශගත වී වෘත්තීය හා උසස් අධ්‍යාපන කටයුතු සඳහා එම සහතික යොදාගන්නා බව වාර්තා වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    මෙවැනි වංචනික ක්‍රියා හේතුවෙන් විභාග සහතිකවලට පවත්නා ජාත්‍යන්තර පිළිගැනීම නැතිකරලීමට කිසිසේත් ඉඩ නොදී මෙරට විභාග සහතිකපත්‍රවල තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පවතින ගැටලු විසඳාගනිමින් ඉදිරියේ දී මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයා විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ, පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී යි.

    මීට අමතරව, 2019 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග දෙකම වසරේ එකම කාලවකවානුවක දී පැවැත්වීම පිළිබඳව ද මෙම මාණ්ඩලික රැස්වීමේ දී දීර්ඝව කරුණු සාකච්ඡාවට ලක්ව තිබේ. මෙහි දී අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික පරිසරය නිර්මාණය කරගැනීමට අදාළව, අවශ්‍ය මුද්‍රණාල නවීකරණ කටයුතු, ප්‍රමාණවත් සේවකයින් බඳවා ගැනීම ආදිය කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya