සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයෙන් තවත් යුවාන් බිලියන 2ක ආධාර

    මැයි 17, 2017
    මේ වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යපෘති සඳහා ලබා දෙන චීන යුවාන් මිලියන 400 ක ආධාර මුදලට අමතරව, 2018 – 2020 කාලය සඳහා චීන යුවාන් බිලියන 2 ක ආධාර ලබා දීමට චීනය කටයුතු කරන බව මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා පැවසීය.
     
    ඊයේ (16) බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ෂී ජින්පිං මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහය ලබා දීමට චීනය ක්‍රියාකරන බවය.
     
    චීන - ශ්‍රී ලංකා තානාපති සබඳතාවන්ට වසර 60 ක් සහ රබර් - සහල් ගිවිසුමට වසර 65 ක් පිරෙන මේ වසරේ පැරණි සබඳතාවන් තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවය ද චීන ජනාධිපතිතුමන් පෙන්වා දුන්නේය. 
     
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුව සංවිධානය කිරීම සහ මේ වසරේ මුල දී ඩවොස් ලෝක ආර්ථික සමුළුවට චීන ජනාධිපතිතුමන් සහභාගී වීම කාලීන අවශ්‍යතාවයන් බවය. විවෘතව හා සුහදව සියලු රටවල් සමග අත්වැල් බැඳගනිමින් පොදු ජයග්‍රහණ කරා එළැඹිමේ පදනම එමගින් නිර්මාණය වන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    පොදු සංවර්ධනය හා සමෘද්ධිය ලබා ගත හැක්කේ ජාත්‍යන්තර එකමුතුව හරහා බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමගින් ගෝලීයකරණයේ අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීමට අවකාශ සැලසෙන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.
     
    ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සහ ආයෝජනයන් සඳහා චීනය ලබා දෙන සහයෝගය පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා සිය කෘතඥතාවය චීනය වෙත පිරිනමා සිටියේය.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘතීන් සඳහා චීනයේ සහයෝගය ලබා දීම සම්බන්ධව නිරන්තර සංවාදයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. කර්මාන්ත කලාප, ආර්ථික කවුළු, ගුවන් හා නාවුක සේවා, සංචාරක ආදී ක්ෂේත්‍ර‍යන් තුළ චීන – ශ්‍රී ලංකා සම්බන්ධතා තව තවත් පුළුල් කිරීමේ ඉඩකඩ පිළිබඳව ද ෂී ජින්පිං මහතා අදහස් දැක්වීය.
     
    විද්වතුන්, වෘත්තිකයන්, ජනමාධ්‍යවේදීන්, ආගමික නායකයින් හා විශ්වවිද්‍යාල අතර අන්තර් සමබන්ධතා ඇති කිරීමේ අවකාශයන් සොයා බැලිය යුතු බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.
     
    සාමාන්‍ය යටිතල පහසුකම්වලින් ඔබ්බට ගොස්, නිෂ්පාදන ක්‍රියාවලිය හා ආර්ථිකය ශක්තිමත් කෙරෙන විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. වරාය හා ගුවන් තොටුපල ආශ්‍රිතව කර්මාන්ත, ආර්ථික හා නිෂ්පාදන කලාප ඇති කිරීම ඔස්සේ කාර්මීකරණ වැඩ පිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා චීනය ලබා දෙන සහයෝගයට වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුබ පැතුම් චීන ජනාධිපතිතුමන් වෙත පිරිනමමින් වික්‍රමසිංහ මහතා පැවසූයේ එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය හා එක්වෙමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ශ්‍රී ලාංකේය අභිලාශය බවය.
     
    ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලංකා අපේක්‍ෂාව ජය ගැනීම උදෙසා ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රයත්නය හරහා දැවැන්ත ශක්තියක් ලැබෙන බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ වෙනුවෙන් චීනය දක්වන සහයෝගය අගය කළේය.
     
    විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා සාවිත්‍රි පානබොක්කේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂිකා මදාරා ද සිල්වා, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ශානි කළ්‍යාණරත්න, අමාත්‍ය උපදේශක (ආරක්‍ෂක) බ්‍රිගේඩියර් තිලක් වීරකෝන්, උපදේශක (වාණිජ) රුවන්ති ආරියරත්න යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya