සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරා බදු වෘත්තීය සමිති සහ මුදල් ඇමැති සාකච්ඡා සාර්ථකයි

    මැයි 17, 2017
    සුරා බදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් වෘත්තීය සමිති නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර ඊයේ (16)  මුදල් අමාත්‍යංශයේ පැවැති අතර එම සාකච්ඡාව සාර්ථක වූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
     
    එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ ම ඉහළ නිලධාරියකු ඊට පත් කිරීමෙන් බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වන බවයි. එමෙන් ම වසර 20ක පමණ කාලයක සිට දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරය සඳහා දේශපාලන වුවමනාවන් මත පත් කෙරුණේ පරිපාලන සේවාවේ ඉහළ නිලධාරීන් බව වෘත්තිය සමිති නියෝජිතයෝ අවධාරණය කළහ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ද කලක් තිස්සේ පැවැති මෙම ගැටලුව මේ වන විට නිවැරැදි කර ඇති බව පෙන්වා දුන් එම නියෝජිතයන්, අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ සිය දෙපාර්තමේන්තුව සඳහා ද එවැනි පත් කිරීමක් කරන ලෙසයි. 
     
    එහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ 2015 ජනවාරි මස 08දා ජනතාව යහපාලන රජය පත් කර ගනු ලැබුවේ රටේ සෑම ක්ෂේත්‍රයක ම වෙනසක් අපේක්ෂාවෙන් බවයි. එම වෙනස සුරා බදු දෙපාර්තමේන්තුව තුළ ද යථාර්ථයක් බවට පත් කරමින් 2014 දී රුපියල් කෝටි 3900ක්ව පැවැති සුරා බදු ආදායම 400%කින් ඉහළ නංවමින්, අද වන විට රුපියල් කෝටි 13800 දක්වා එය ඉහළ ගොස් ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය. 
     
    එබැවින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අපේක්ෂාව වන්නේ ජනතාව අපේක්ෂා කළ වෙනස තව දුරටත් ඉදිරියට රැගෙන යාම බව අමාත්‍යවරයා පැවැසීය. 
     
    වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව, අතිගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුගේත් අනුමැතිය සහිතව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නව පත් කිරීම සිදු කිරීමට සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. 
     
    ප්‍රධාන සුරා බදු පරීක්ෂක හා පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් සුරා බදු නිලධාරී සංගමය, සමස්ත ලංකා සුරා බදු සැරයන් හා නියාමක සංගමය, ශ්‍රී ලංකා සුරා බදු නිලධාරී සංගමය, එක්සත් සුරා බදු පරීක්ෂක හා පරීක්ෂකවරියන්ගේ සංගමය, ශ්‍රී ලංකා සුරා බදු මහ සැරයන් හා සැරයන් සංගමය, කාන්තා සුරා බදු නිලධාරීන්ගේ සංගමය, සුරා බදු නියාමක සංගමය සහ සුරා බදු රියදුරු සංගමය නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya